දිලිත් ජයවීර ඇතුළු පිරිසකට චීනයට එන්නැයි තානාපතිගෙන් ආරාධනයක්

නුදුරු අනාගතයේ දී චීනයේ සංචාරය කිරීම සඳහා සර්වජන බලය නායක දිලිත් ජයවීර ඇතුළු පිරිසට, මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපති, වේයි හුවාක්සියාං ආරාධනා කරනු ලැබුවා.

සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර සහ ශ්‍රී ලංකාවේ අලුතින් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපති, වේයි හුවාක්සියාං අතර හමුවක්, අද (04) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම හමුවේදී චීන ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම, චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, ආර්ථික සහයෝගිතාව, ව්‍යවසායකත්වය සහ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අධ්‍යාපන අවස්ථා පිළිබඳව අවධානය යොමු වුණා.

සාකච්ඡාව අතරතුර දිලිත් ජයවීර, චීනය සහ ශ්‍රී ලංකාව සමඟ පවත්වන දිගුකාලීන මිත්‍රත්වය සහ රටේ සංවර්ධනයට ලබා දෙන දායකත්වය අගය කළා.

“චීනය ශ්‍රී ලංකාවේ වැදගත් මිතුරෙක්. මොකද චීනය අපේ රටට කරපු දේවල් එක්ක බලද්දී බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඉතාම සුළු දෙයක්,” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර කියා සිටියා.

සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීනයේ ප්‍රවේශය අවධාරණය කරමින් තානාපති වේයි හුවාක්සියාං, මෙසේ අදහස් දක්වා සිටියා.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන චීන ආධාර ලබන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සර්වජන බලය දූත පිරිස දැනුවත් කිරීමට තානාපතිවරයා සැලකිය යුතු කාලයක් වැය කළා.

නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ මුලපිරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීමේ පහසුකම් වැඩිදියුණු කිරීම චීන තානාපති කාර්යාලයේ වැදගත් ප්‍රමුඛතාවයක් ලෙස පවතින බවත්, එවැනි ව්‍යාපෘති මගින් දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසිය හැකි බවත් තානාපතිවරයා අවධාරණය කළා.

සාකච්ඡාව අතරතුර, තානාපති වේයි නුදුරු අනාගතයේ දී චීනයේ සංචාරය කිරීම සඳහා සර්වජන බලය දූත පිරිසකට ආරාධනයක් කරනු ලැබුවා.

චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා වන ශිෂ්‍යත්ව අවස්ථා පිළිබඳව ද ඔහු සාකච්ඡා කළා.

එමෙන්ම හම්බන්තොට වරායේ නවතම වර්ධනයන් නිරීක්ෂණය කිරීමටත්, එහි ක්‍රියාකාරීත්වය සහ අනාගත විභවයන් පිළිබඳව සෘජු අවබෝධයක් ලබා ගැනීමටත් පක්ෂ දූත පිරිසකට ආරාධනා කළා.

ශ්‍රී ලංකාව කෙරෙහි චීනය දක්වන අඛණ්ඩ මිත්‍රත්වය සහ ත්‍යාගශීලීභාවය පිළිබඳව ගරු දිලිත් ජයවීර මහතා සිය අවංක කෘතඥතාව පළ කළා.

ප්‍රගතිශීලී දේශපාලනය, ආර්ථික සංවර්ධනය සහ ව්‍යවසායකත්වය තුළින් ශ්‍රී ලාංකිකයන් සවිබල ගැන්වීමේ වැදගත්කම ඔහු අවධාරණය කරනු ලැබුවා.

චීන සහ ශ්‍රී ලංකා ආර්ථිකයන්හි ප්‍රමාණයේ විශාල වෙනසක් තිබියදීත්, චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව වටිනා ආධාර ලබා දී ඇති බව ඔහු නිරීක්ෂණය කළා.

දේශීය ව්‍යාපාරවලට සහ තරුණ ව්‍යවසායකයින්ට වඩාත් තරඟකාරී සහ ස්වයංපෝෂිත වීමට ඉඩ සලසමින් චීන ව්‍යවසායකත්ව දැනුම, ව්‍යාපාරික අත්දැකීම් සහ ප්‍රායෝගික විශේෂඥතාවයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථා ලබා දෙන ලෙස ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියා.

දිලිත් ජයවීර, සර්වජන බලය පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස තානාපති වේයි හුවාක්සියාංට සුහද ආරාධනයක් ද කළා.

රොෂාන් රණසිංහ, ආචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, අනුරාදා යහම්පත්, නීතිඥ මධුර විතානගේ, ඉරංග මෙන්ඩිස්, අනුරුද්ධ හේරත් ඇතුළු පිරිසක් විධායක කමිටුව නියෝජනය කරමින් දිලිත් ජයවීර සමඟ එක්ව සිටියා.

චීන තානාපති කාර්යාලයේ උපදේශකවරුන් වන මේයි ජින්ග් සහ ජින් එන්සේ ද තානාපති වේයි හුවාක්සියාං සමඟ එක්ව සිටියා.