තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන තරගවදින අවසන් මහා තරගය අද (31) පැවැත්වෙනවා.

ලාහෝර් හිදී පැවැත්වෙන මෙම තරගය අද (31) මෙරටට වෙලාවේ පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, එංගලන්තය එක් වුණා.

තරගාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 04 බැඟින් ක්‍රීඩා කළ අතර, එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ගත්තා.

ඒ අනුව පාකිස්ථානය මූලික වටයේ ක්‍රීඩා කළ තරග හතරෙන් තරග තුනක් ජයගෙන කල්වේලා ඇතිව අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගත් අතර, මූලික වටයේ තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකාව අවසන් තරගයේ දී පාකිස්ථානයේ ප්‍රතිවාදීන් බවට පත් වුණා.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග හතරෙන් එක් තරගයක් පමණක් ජයගත් එංගලන්තයට සිදු වුණේ තරගාවලියෙන් ඉවත්ව යෑමටයි.

අද දිනයේ අවසන් මහා තරගය පැවැත්වෙන ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිලට වාසිදායක ක්‍රීඩාංගණයක් ලෙස අතීතයේ සිටම සැලකෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි ක්‍රීඩාංගණයේ අවසන් වරට සහභාගී වූ එක්දින තරග 07න් තරග 06ක්ම ‍ජයගෙන තිබෙනවා.

මේ අතර කණ්ඩායමේ දෙකම කිසිඳු වෙනසක් නොකර අවසන් වරට ක්‍රීඩා කළ තරගය සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනාම අද පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.