තීරු බදු නොගෙවා මෙරටට ගෙනා බඩු සමගින් ව්‍යාපාරික‍යින් දෙදෙනෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක 06ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 114ක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05) දින
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් 23 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන කොළඹ 10 මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනවිත් අලෙවි කිරීමේ කාර්යයේ නිරත වී තිබෙනවා.

ඊයේ දින අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත මොවුන් දෙදෙනා පැමිණ තිබුණා.

එම ව්‍යාපාරිකයින් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකතන තොගය සඟවාගෙන පැමිණීම හේතුවෙන් පොලිසි‍ය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් රැගෙන විත් තිබූ ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.