ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසක් ෆුවැන්කෙට්කියෝ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුව ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.
මහනුවර අස්ගිරි මහා විහාරයේ පැවැත්වෙන රාජකීය කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට සහභාගී වීම සඳහා තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජතුමාගේ රාජකීය නියෝජිතයා ලෙස නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සිහසක් ෆුවැන්කෙට්කියෝ මෙරටට පැමිණ සිටියා.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉතා සුහදශීලීව පිළිගනු ලැබුවා.
අනතුරුව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සහ ආගමික සබඳතා සිහිපත් කරමින් ජනාධිපතිවරයා සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා මෙවැනි රාජ්‍යතාන්ත්‍රික සංචාර මගින් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළා.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ අතර, ලබන වසරේ අගෝස්තු මාසයේ පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකාර්මික සහ විදේශ රැකියා යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළා.
දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක් හුවමාරු කර ගැනීමද මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසක් ෆුවැන්කෙට්කියෝ සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර සිදුවුණා.
මෙම ගිවිසුම දෙරටේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට ද මහත් පිටුවහලක් වනු ඇති බව තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
විශේෂයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට තායිලන්තය සූදානම් බවත්, ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් කටයුතු කළහැකි බවත් තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.
තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. තම රටේ පුරවැසියන්ට සලකන ආකාරයෙන්ම විදේශීය ශ්‍රමිකයන්ට ද සලකන බව අවධාරණය කළ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති කර නොගත යුතු බව ද සඳහන් කළා.
ඉදිරියේ දී තායිලන්තයේ නිල සංචාරයක නිරත වන ලෙසද, මෙහිදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙතද ආරාධනා කරනු ලැබුවා.
