ජාතික මීලාද් – උන් – නබි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) පස්වරුවේ අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද් පරිශ්‍රයේදී පැවැත්වුණා.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඉස්ලාම් ආගමික නායක මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය නිමිති කොට ගෙන මෙම ජාතික උත්සවය සංවිධාන කර තිබු අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගම්වලට අයත් ජනතාවගේ සහයෝගය සහ දායකත්වය ඊට හිමි වීම විශේෂත්වයක් වුණා.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතික හා ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් සම්පාදනය කෙරණු “හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසය සහ වර්ධනය” ග්‍රන්ථයද පිළිගැන්විණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල ඉගෙනුම ලබන ජාති භේදයකින් තොරව සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා පවත්වන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක්වුණා.

2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය සඳහා සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වුණු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් ජුම්මා පල්ලියේ දායක සභාව විසින්ද ජනාධිපතිවරයා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලැබුවා.

මෙම උත්සව සභාව ඇමතූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට අදාළ සාකච්ඡා මේ වන විට සිදු කරන බවයි.

ඒ අනුව මෙරට ඉස්ලාම් බැතිමතුන්ට හජ් වන්දනාව සඳහා වැය කිරීමට සිදුව ඇති මුදල අඩු කර ගැනීමට සහ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා.

මෙහිදි අදහස් දැක්වූ අධිකරණ සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර් සඳහන් කළේ සාමය, එකමුතුකම සහ එකිනෙකාට ගරු කිරීම නබි නායකතුමාගේ මගපෙන්වීම බවයි.

සියලු ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැගුණු ලස්සන රටක් වත්මන් රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා 2025 ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවයේ කටයුතු සාර්ථක කර ගැනීමට ප්‍රදේශවාසින්ගෙන් විශාල දායකත්වයක් ලැබුණු බව සිහිපත් කළ අතර මෙම එකමුතුභාවය ලස්සන රටක් පිළිබඳ විශ්වාසය තහවුරු කරන බවද සඳහන් කළා.

මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ද, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. පී. සේනාධීර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් ඇතුළු රාජ්‍ය නිලධාරිහු, විදෙස් තානාපතිවරු, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?