චීන සරසවි සමඟ පවතින සහයෝගීතා සීමා කිරීමට අමෙරිකාවේ තීරණයක්

චීනයේ විශ්වවිද්‍යාල සමඟ පවතින පර්යේෂණ සහ අධ්‍යාපනික සහයෝගීතා සම්බන්ධයෙන් ආරක්ෂක පරීක්ෂාවන් දැඩි කිරීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගැනීමත් සමඟ, එරට විශ්වවිද්‍යාල රැසක් චීන ආයතන සමඟ පවතින සබඳතා සීමා කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව, වර්ජිනියා ටෙක් විශ්වවිද්‍යාලය සහ චීනයේ ෂිඩියන් විශ්වවිද්‍යාලය අතර ක්‍රියාත්මක ඒකාබද්ධ උපාධි පාඨමාලාව නියමිත කාලයට පෙර අවසන් කිරීමට වර්ජිනියා ටෙක් ආයතනය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම පාඨමාලාව 2029 වසර දක්වා පවත්වාගෙන යාමට සැලසුම් කර තිබුණ ද, නව තීරණය අනුව වත්මන් අධ්‍යයන වර්ෂය අවසානයේ එය නිල වශයෙන් අවසන් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ වන විට පාඨමාලාව හදාරන සිසුන්ට එම තීරණයෙන් ඇති වන බලපෑම පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු වාර්තා වී නැහැ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු මාසයේදී විශ්වවිද්‍යාල 30කට නියෝග කර තිබුණේ, චීන ආයතන ඇතුළු විදේශීය පර්යේෂණ හවුල්කරුවන් සමඟ පවතින සබඳතා සමාලෝචනය කරන ලෙසයි.

එම නියෝගයට අනුකූල නොවන ආයතනවලට ෆෙඩරල් රජයේ අරමුදල් අහිමි වීමේ අවදානමක් ද පවතින බව සඳහන්.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳුදා ප්‍රකාශ කළේ, අදාළ විශ්වවිද්‍යාල 30ම මූලික පරීක්ෂණ අවසන් කර ඇති බවයි. එමෙන්ම, ආරක්ෂක අවදානම් ලෙස හඳුනාගත් සබඳතා සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව කඩිනමින් පියවර ගත් විශ්වවිද්‍යාල හතක් නම් කර ඇති අතර, ඒ අතර වර්ජිනියා ටෙක් විශ්වවිද්‍යාලය ද ඇතුළත් වේ. කෙසේ වෙතත්, සබඳතා අවසන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති සියලුම ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙළි කර නැහැ.

ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගවලට චීනය විරෝධය පළ කර තිබෙනවා.

විද්‍යාත්මක පර්යේෂණ සහ අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ඇමරිකාවට චෝදනා කරන චීන තානාපති කාර්යාලය පවසන්නේ, මෙවැනි ආරක්ෂක සීමා කිරීම් දෙරට අතර හුවමාරු සහ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවට බාධාවක් වන බවයි