කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයේ අද දින උදෑසන කාලයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නාය ගිය කොටසේ රැඳී ඇති ගස්, පස් හා ගල් වලින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හා මහජනයාට අනතුරක් විය හැකි බවට නිරීක්ෂණය වී ඇති බැවින්, හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය මත කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයේ පස් කඳු හා ගල් පෙරළී මාර්ගය අවහිර වීම හා නායයෑමේ අවධානමක් මතු වීම හේතුවෙන් පසුගිය 10 වන දින රාත්රී සිට කඩුගන්නාව පොලිස් වසමේ ඩෝසන් කුළුණ අසලින් සහ මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න හන්දියෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණා.
පසුව එම මාර්ගය ඊයේ (11) දින උදෑසන 06.00 සිට රථවාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කරනු ලැබුවා.
එහිදී, මාර්ගය මතට වැටී තිබූ පස් හා ගල් එම ස්ථානයෙන් ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය සඳහා එක් තීරුවක් විවෘත කිරීමට කටයුතු කර තිබූ අතර, නාය ගිය කොටසේ මාර්ගය අවට වැටී තිබූ ගල් හා පස් මේ දක්වා සම්පුර්ණයෙන් ඉවත් කර නොමැති බැවින් හා අද (12) දින උදෑසන කාලයේ සිට එම ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නාය ගිය කොටසේ රැඳී ඇති ගස්, පස් හා ගල් වලින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හා මහජනයාට අනතුරක් විය හැකි බවට නිරීක්ෂණය වී තිබෙනවා.
එබැවින් එම මාර්ගය භාවිතා කිරීම අවම කර කොළඹ දෙසට හා මහනුවර දෙසට ගමන් ගන්නා රියැදුරන්ට හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ග :-
කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන
කඩුගන්නාව. පොත්තපිටිය, හතරලියැද්ද, රඹුක්කන හරහා කරඩුපන හන්දිය හරහා ගමන් කල හැකි බවත්, පේරාදෙණිය, ගොහගොඩ හරහා කටුගස්තොට කුරුණෑගල හරහා ගමන් කල හැකි බවත් පොලීසිය නිවේදනය කරනවා.
පිළිමතලාව, දන්තුරේ හරහා පොත්තපිටිය, හතරලියද්ද, රඹුක්කන හරහා කරඬුපන හන්දියට ගොස් ගමන් කල හැකි බවටත්, පිළිමතලාව මුරුතලාව හරහා අලදෙණිය කුරුණෑගල මාර්ගය හරහා ගමන් කල හැකි බවටත් පොලීසිය දන්වා සිටිනවා.
මහනුවර දෙසට ගමන් ගන්නා රථවාහන සඳහා ද ඉහත විකල්ප මාර්ග භාවිතා කල හැකි බවටත් පොලීසිය නිවේදනය කරනවා.
