නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් රාජසන්තක කිරිමෙන් අනතුරුව එය රැගෙන පැමිණි කාන්තාවකට රුපියල් ලක්ෂ විසිපහක දඩයක් ද පනවා තිබෙනවා
අද (12) දින අලුයම රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ පෞද්ගලික පාසල් ගුරුවරියක්, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් බවට වාර්තාවෙනවා.
අදාල රන් තොගය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී මගී කාන්තාවක් එසේ අත්අඩංගුවට පත්වුණා.
ඇය හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන පෞද්ගලික පාසැලක සේවයේ නිරත ගුරුවරියක් බවට වාර්තාවෙනවා.
ඇය අද අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ඇය සිය යට ඇදුම් තුළ වූ කුඩා පසුම්බි දෙකක මෙම ග්‍රෑම් 436 ක් බරැති රන් බිස්කට් 04 ක් සහ තවත් රන් බිස්කටුවක කොටසක් ද සගවා ගෙන සිටිය දී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම රන් බිස්කට් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාව , කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබූ අතර එහිදී මෙම රන් බිස්කට් තොගය රාජසන්තක කර ඇයට රුපියල් ලක්ෂ 25 ක දඩ මුදලක් ගෙගෙවන ලෙස ද නියෝග කර ඇති බවටත් වාර්තාවෙනවා.
