පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඇතුළු ප්රදේශයේ රැඳී සිටීම වළක්වාලමින් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්රාත් අධිකරණය මඟින් එම ආඥාව නිකුත් කර ඇති බවයි දසත නිවුස් අධිකරණ වරතාකරිණිය සඳහන් කළේ.
එම නියෝගය අනුව උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් 30 දෙනෙකු, උදය ගම්මන්පිළ ඇතුළු දේශපාලනඥයන් 11 දෙනෙකු සහ වෙනත් සිවිල් පුද්ගලයන් 12 දෙනෙකුට අදාලව මෙම නියෝගය ලබා දී තිබෙනවා.
මෙම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට සවන් දෙමින් ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපති කාර්යසාධන ප්රධානියෙකු පැමිණ සාකච්ඡා කොට ඉල්ලිම්වලට සවන් දී විසදුම් සදහා කාලය ඉල්ලා තිබියදී එය නොතකා කලහකාරී ලෙස හැසිරෙමින් රැදී සිටින බව නියෝගය ඉල්ලමින් පොලීසිය කරුණු දක්වා ඇති බව සඳහන්.
එමෙන්ම මෙය ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයකට එරෙහිව සිදුකරන විරෝධතාවක් බවත් පෙන්වා දී තිබෙනවා.
මෙම විරෝධතාකරුවන්ට දින පහක් තිස්සේ මහනුවර සිට පා ගමනින් පැමිණීමට ඉඩකඩ ලබා දී තිබුණු බවත්, කොළඹට පැමිණීමෙන් පසුද විරෝධතාවට ඉඩකඩ ලබාදීම සහ ඉල්ලීම්වලට ඇහුම්කන්දීම සිදුකර තිබිය දී මෙසේ හැසිරෙන බවත් පෙන්වා දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්යාංශය සහ ශ්රී ලංකා මහ බැංකුව ඇතුළු ආර්ථික මර්මස්ථාන මෙන්ම ආරක්ෂාව අවශ්ය වන ස්ථාන අතර ඔවුන් රැදී සිටින බවයි පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව මහජන පීඩාවක් ඇති කිරීම, පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
