ඥානසාර හිමිට නිදහස ඉල්ලා පැමිණි භික්ෂූන් වහන්සේලා තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනට’ එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැය පහන් කළා.

ඒ, අනුව අදාළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

මහනුවර සිට පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිටට ඊයේ (15) පස්වරුවේ පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඥානසාර හිමිට නිදහස ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් රජයේ පාර්ශ්වයෙන් ලබාදිය යුතු බවයි අවධාරණය කළේ.

එහිදී පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමඟ අවස්ථා දෙකක දී සාකච්ඡා පැවැත් වූ අතර, එම සාකච්ඡා එකඟතාවයකින් තොරවයි අවසන් වුණේ.

මෙහිදී භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් සම්බධයෙන් ජානාධිපතිවරයාව දැනුවත් කළ බවයි ජනාධිපති ලේකම්වරයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානියා එහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත් තම අරමුණ ඉටුවනතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට රැඳී සිටින බව අවධාරණය කළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) රාත්‍රියේ එම ස්ථානයේ රැය පහන් කිරීමට කටයුතු කළා.