Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි UN මානව හිමිකම් ප්‍රධානියා ඉල්ලයි

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසන්නේ ඉම්රාන් ඛාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය සැලකිල්ල ලබාදීමටත්, ඔහුගේ රඳවා තැබීම සම්බන්ධයෙන් රට තුළ පවතින දේශපාලන නොසන්සුන්තාව අවම කිරීමටත් පාකිස්තාන බලධාරීන් පියවර ගත යුතු බවයි.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී මේ වන විට රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

සෞදි අරාබියේ නිල සංචාරයක් අතරතුර සෞදි ඔටුන්න හිමි කුමරු විසින් තෑගි කළ බල්ගේරි ස්වර්ණාභරණ කට්ටලයක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් බවට එල්ල වූ චෝදනා මත, පසුගිය දෙසැම්බර් 20 වැනිදා ඔවුන් දෙදෙනාට වසර 17ක සිරදඬුවම් නියම කෙරුණා.

2023 අගෝස්තු මාසයේ සිට අත්අඩංගුවේ පසුවන ඉම්රාන් ඛාන්ට පවුම් මිලියන 190ක දූෂණ නඩුවක් සම්බන්ධයෙන් ද සිරදඬුවම් නියම වී ඇති අතර, එම වසරේ මැයි 9 වැනිදා ඇති වූ විරෝධතා සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවත් නඩු කිහිපයකට ද ඔහු මුහුණ දෙනවා.

CNN නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වොල්කර් ටර්ක් අවධාරණය කළේ මෙම තත්ත්වය සමනය කිරීම සඳහා රජය සහ විපක්ෂය අතර විශ්වාසය ගොඩනැගීමේ පියවරක් ලෙස ඉම්රාන් ඛාන් වහාම නිදහස් කිරීම වැදගත් වන බවයි.

එමෙන්ම, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හමුවීමට අවසර දීම, නීතිඥයන්ගේ සහාය ලබාගැනීමට ඉඩ සැලසීම සහ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ද අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා පෙන්වා දෙනවා.

දේශපාලන විපක්ෂයේ සාමාජිකයන්, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් අත්තනෝමතික ලෙස රඳවා තැබීම පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කර තිබෙනවා.

එබැවින් රඳවා තැබීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ද වොල්කර් ටර්ක් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්