ඇමෙරිකාව යළිත් වරක් ඉරානයට පහරදෙයි

ඊයේ රාත්‍රීයේදී ඇමෙරිකාව විසින් නැවත වරක් ඉරානය වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට වාර්තාවෙනවා.

ලෝකයේ ප්‍රධානතම සමුද්‍රීය තෙල් ප්‍රවාහන මර්මස්ථානයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් උපායමාර්ගික ‘කාෂිම්’ දූපත ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් සීමිත හමුදා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත සඳහන් කරනවා.

ඒ අතරම ඉරානයට එල්ල කළ ප්‍රහාරය ‘සුළු ඒවා බවත්, එය යුද්ධයක් නොවන’ බවත් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

ඉරානයේ ගුවන් යානා නාශක පහසුකමක් පසුගිය මාස දෙක පුරා ඇමරිකාව නිරීක්ෂණය කරමින් සිටි බවත්, “එය සම්පූර්ණ වූ වහාම, ඊයේ රාත්‍රියේ අපි ඉතා සාර්ථකව ඊට පහර දුන්නා” යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ කාෂිම් දූපතට ඇමරිකාව ප්‍රහාර එල්ල කළ බවට වාර්තා පළ වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් දැක්වීම සිදු කර තිබෙනවා.

වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉරානයට එරෙහිව පූර්ණ පරිමාණයේ දැවැන්ත යුද මෙහෙයුමක් යළි ආරම්භ කරන බවට පූර්ව ඉඟි පළවීම වැළැක්වීම උදෙසා, වොෂින්ටනය විසින් පසුගිය සති කිහිපය පුරා අතිශය රහසිගතව සහ සීමිත මට්ටමින් දියත් කරන ලද විශේෂ මෙහෙයුම් මාලාවේ නවතම ප්‍රහාරය මෙය බවයි.

මෙම ප්‍රහාරයට සමගාමීව අදහස් දක්වා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව තවදුරටත් හමුදා ප්‍රහාර දියත් කිරීම පිළිබඳව සැක පළකර ඇති අතර, ටෙහෙරාන් පාලනය සමඟ සාකච්ඡාමය එකඟතාවකට පැමිණීමේ ඉඩකඩක් පවතින බව ප්‍රකාශ කර තිබෙනවා.