පවතින වැසි තත්වයත් සමඟ කලාවැවේ ජල මට්ටම යලි ඉහළයාම නිසා මේ වනවිට කලාවැව යලි පිටාර ගැලිම ආරම්භ වී තිබෙනවා.
මේ හේතුවෙන් මේ වනවිට කලාවැව හදිසි වාන් දොරටු යළි විවෘත කිරිමට එම ජලාශ භාර කාර්යාලය පියවර ගෙන ගත්තා.
ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා කලාවැව හදිසි වාන්දොරටු මින්පෙර සම්පූර්ණයෙන් වසා දමා තිබුණා.
එහෙත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද(03) සවස් වනවිට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 02ක් දක්වා විවෘත කිීරීමට සිදුවී තිබෙනවා.
අද(03) පස්වරුව වනවිට කලාවැව සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 87037ක් දක්වා යළි ඉහළ ගොස් ඇති බවට ජලාශ භාර ඉංජිනේරු පවසනවා.
තත්පරයට ඝන අඩි 4547ක ජලප්රමාණයක් කලාවැවට තවදුරටත් එක්වෙමින් තිබෙන අතර, විවෘත කර ඇති හදිසි වාන් දොරටු මඟින් තත්පරයට ඝන අඩි 2640 ක ජල ප්රමාණයක් කලාඔයට මුදා හැරෙමින් පවතිනවා.
කලාවැව හදිසි වාන් දොරටු මෙලස යළි විවෘත කිරිමත් සමඟ කලාඔය පිටාර ගැලිම හේතුවෙන් කලාවැව-අවුකන මාර්ගය. අවුකන විහාරස්ථානය අසළින් නැවතත් ජලයෙන් යටවී තිබෙන බවත්, ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනගමන කටයුතු ද නැවත ඇණහිට තිබෙන බවටත් වාර්තාවෙනවා.
