Update – දිවයිනට රැගෙන ආ ‘ලොකු පැටී’ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයට (වීඩියෝ)

බෙලරූස් රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගෙන අද (04) පෙරවරුවේ දිවයිනට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ‘ලොකු පැටී’ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ, ඔහුව කටුනායක ගුවන් තොටුපොළට රැගෙන එමෙන් අනතුරුව; ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

ලොකු පැටී, බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් – 579 දරණ ගුවන් යානයෙන් අද (04) උදෑසන 07.48ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණා.

අහුංගාල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මොහු කළක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කර ඇති අයෙක්.

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය ඇතුලු  මිනීමැරුම්, වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට මෙරට අධිකරණ තුළ චෝදනා ලබා සිටින තැනැත්තෙක්.