ශ්‍රී ලංකාවේ පසුගිය කාලයන් හි බලයේ සිටී රජයන් අයුරින් කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමේ හැකියාවක් වත්මන් ජාතික ජන බලවේග රජයට නොමැති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවූෆ් හකීම් චෝදනා කරනවා.
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය වන අද (23) දින විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හකීම් මන්ත්‍රීවරයා, විජිත හේරත් අමාත්‍යවරයා ජාතික ජන බලය රජයේ පතාක යෝධයන් අතරින් ප්‍රමුඛස්ථානයේ ඉන්නා කෙනෙක් බවත්, ඒත් ඔහුට විදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය යනාදි බලවත් අමාත්‍යාංශ තුනක් ලබාදී තිබෙන අතර, ඒ අමාත්‍යාංශ තුනම අමාත්‍යවරුන් තුන් දෙනෙකු යටතේ වෙන වෙනම ක්‍රියාත්මක විය අමාත්‍යාංශයන් බවත් පෙන්වා දී තිබුණා.
ඒ නිසා විජිත හේරත් අමාත්‍යවරයා හැම වෙලේම කාර්යබහුල බවත්, කිසිම කටයුත්තකට ඔහුව සම්බන්ධ කරගන්න බැරි බවත් හකීම් චෝදනා කරනවා.
අවම වශයෙන් එම අමාත්‍යාංශ තුනකට ලේකම් වරුන් දෙදෙනෙක් හෝ පත් කරන මෙන් රජයෙන් ඉල්ලීමක් කළ මන්ත්‍රීවරයා, ඒ මගින් අමාත්‍යාංශය තරමක් දුරට කාර්යක්ෂම විය හැකි බවටත් පෙන්වා දෙනවා.
රෝහිංග්‍යා ජනතාවට ජනසංහාරයට ලක්වී ඇති බවට ජාත්‍යන්තරය දැන් තීරණය කරලා තිබෙන බවත්, එබැවින් ජාත්‍යන්තර මානුෂිය නීති රීති උල්ලංඝණය කරමින් ඔවුන් නැවත මියන්මාරය වෙත යැවීමට මෙම රජය කටයුතු කිරීම නැවැත්විය යුතු බවටත් අවධාරණය කළ හකීම් මන්ත්‍රීවරයා, රෝහිංග්‍යා ජනතාවට එරෙහිව අපේ රටේ ද ඇතැම් අන්තවාදී කල්ලි ක්‍රියාත්මක වෙන බවටත්, ඔවුන්ගේ බලපෑම්වලට යටත් නොවී රජය කටයුතු කළ යුතු බවත්, ඒ වගේම අපි ඔවුන්ට ජාත්‍යන්තර නීති අනුව මානුෂියව සැළකිය යුතුයි. එය ජාත්‍යන්තර වශයෙන් පවතින සියළු රජයන්ගේ වගකීමක් වන බවටත් අවධාරණය කරනවා.
පලස්තීනයේ මොකද වෙන්නේ? ගාසාවල ඊශ්‍රායලය විසින් ජන සංහාරයක් දියත් කරන යැයි චෝදනා කරන ඔහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයන් හි ඊශ්‍රායලයට විරුද්ධව එන යෝජනාවලට සහයෝගය ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මේ රජය ඊශ්‍රායලයට විරුද්ධව කටයුතු කරන්න බයෙන් ඉන්න රජයක් බවත්, කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න බැරි රජයක් බවටත් චෝදනා කරනවා.
පාකිස්තානය පසුගිය යුද්ධ කාලයේදී අපට විවිධ අයුරින් සහයෝගය ලබාදුන් බව සඳහන් කරන මන්ත්‍රීවරයා, එරටේ හිටපු අගමැතිවරයා මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ද වන ඉම්රාන් ඛාන් සිරගතවී විවිධ අඩත්තේට්ටම් වලට ලක්වෙන බවත්, ඒ නිසා ඔහුව නිදහස් කරන මෙන්ද, ඔහුට එරෙහි අඩත්තේට්ටම් වලට එරෙහිව පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරන්න විපක්ෂය පැත්තෙන් , අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ගෙනා යෝජනාව රජය ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පෙන්වා දෙනවා. පාකිස්තානය අපගේ මිත්‍ර රටක් වුණත්, ඔවුන් වැරදි කරනවානම් ඒවා පෙන්වා දීමේ හැකියාවක් අපට තිබිය යුතු බවත්, හැබැයි මේ රජයට එහෙම හැකියාවක් නොමැති බවටත් ඔහු අවධාරණය කරනවා.
කොවිඩ් කාලයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ මෘත දේහයන් බලහත්කාරයෙන් ආදාහනය කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉම්රාන් කාන්, අපේ රජයට එම වැරැද්ද පෙන්වා දුන් බවත්, එවක බලයේ සිටී ගෝඨාභය රාජපක්ෂ පවා, අපේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වෙන්න එපා කියලා ඉම්රාන් ඛාන්ට විරුද්ධ වෙන්න ගියේ නොමැති බවත්, ඒක තමයි නියම මිත්‍රත්වය බවටත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
අපි පොඩි රටක් වුණත් ජාත්‍යන්තරයේ අපට හොද නමක් තිබෙන පෙන්වා දෙන හකීම් මන්ත්‍රීවරයා, ඒ නිසා රජයට කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න හැකියාවක් තිබිය බවත් අවධාරණය කරනවා.
ඒවගේම විදේශවල විවිධ රැකියාවල නිරතවන දෙමාපියන්ගේ දරුවන් ඒ රටවල අධ්‍යාපනය ලබා, මේ රටේ විශ්ව විද්‍යාලවලට ඇතළත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත්, ඔවුන් විදේශිය සිසුන්ගේ කාණ්ඩයට ඇතුළත් කරලා, විශාල මුදලක් අය කරන බවත් පෙන්වා දෙන ඔහු, ඔවුන්ගේ දෙමාපියන් අපේ රටට විදේශ විනිමය උපයා දෙන වැදගත් කාර්යභාරයක නිරත වෙන බව පෙන්වා දෙමින්, ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට මේ රටේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට යම් කිසි සහනදායි ක්‍රමවේදයක් ඇතිකර යුතු බවටත් හකීම් මන්ත්‍රීවරයා තවදුරටත් අවධාරණය කර තිබෙනවා.










