Rajapura Handi Oil
Rajapura Diabetic Powder

OPEC අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30ක ණයක් ලබාදීමට එකඟතාවයක්

වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘතභාවය සඳහා වන මෙරට ප්‍රතිංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර ඇති බවට වාර්තාවෙනවා.

අද (24) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 30ක ප්‍රතිපත්ති පාදක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල එකඟතාව පළ කර ඇති බවට සඳහන්වෙනවා.

එම ණය පහසුකම ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බවයි වාර්තාවන්නේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය තහවුරු කිරීම සහ තිරසර මෙන්ම සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් සඳහා පදනම සැකසීම රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණු වෙනවා.

මෙරට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ඒ සම්බන්ධයෙන් රජය දක්වා ඇති ප්‍රතිපත්තිමය කැපවීම් ධනාත්මකව ඇගයීමෙන් අනතුරුව OPEC අරමුදල මෙම ණය ලබාදීමට එකඟ වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම යටතේ ලබාදෙන මූල්‍ය ආධාරයට සමගාමීව මෙම ණය පහසුකමද ලබාදීමට නියමිතය.

එම ණය මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 24ක් සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේත්, ඩොලර් මිලියන 6ක් විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේත් ලබාගැනීමට නියමිත බව සඳහන් වෙනවා.