අනුරාධපුර අටමස්ථානය ඇතුළු විහාරස්ථාන රැසක් පිහිටි පැරණි පූජා භූමියේ කුටිය පන්සල ඉදිරිපිට සිටි සුනඛ පැටවුන් පස් දෙනකු එක්තරා ව්‍යාපෘතියක සේවයේ නියුතු ට්‍රැක්ටර් රථ රියැදුරකු විසින් රථයට යටකර මරා දැමීමේ පුවතක් එම ප්‍රදේශවාසීහු අනාවරණය කළහ.
පසුගිය දිනක අනුරාධපුර නගරයට දැඩි වර්ෂාව ඇදහැලෙමින් තිබූ දින මෙම බලු පැටවුන් සහ බැල්ලියක ගෝනියක දමා එහි කට ලණුවකින් ගැට ගසා කාඩ්බෝඩ් පෙට්ටියක සිරකර අනුරාධපුර ගල්පාලම ප්‍රදේශයට ගමන් කරන ප්‍රධාන මාර්ගය අයිනේ දමා ගොස් ඇති අයුරු ප්‍රදේශයේ කාන්තාවකට හමු වී තිබේ.
මඟ අයිනේ වූ මෙම පෙට්ටිය විවර කළ අවස්ථාවේ දෑස් පවා හරිහැටි විවර නොකළ පැටවුන් සහ එම පැටවුන්ගේ මව එළියට පැන තිබේ. බැල්ල කාන්තාවට අනතුරක් සිදුකර නැති අතර පසුව කුඩා සුනඛ පැටවු හය හත්දෙනකු එහි සිටිනා අයුරු ඇය දැක සතුන්ට අනතුරක් නොවන අයුරින් කුටිය පන්සල මාර්ගයේ තබා දිනපතා මෙම බැල්ලිට සහ පැටවුන්ට අහාර හා කිරි ලබාදීමට කටයුතු කර තිබේ.
මෙම පැටවුන් බැල්ල සමඟ කුටිය පන්සල ආසන්නයේ දින කිහිපයක් දිවිගෙවා තිබේ.
මෙම ප්‍රදේශයෙන් ගමන් ගන්නා එක්තරා ව්‍යාපෘතියක හිත්පිත් නොමැති ට්‍රැක්ටර් රථ රියැදුරකු විසින් ඔහු පැදවූ රථයට බලු පැටවුන් පස්දෙනකු හිතා මතාම යටකර මරා දමා පසුව මියගිය සිරුරු සියල්ලට පයින් ගසා වීසි කරන ආකාරය මාර්ගයේ ගමන් කළ කිහිපදෙනකු දැක තිබේ.
රියැදුරා යන මාර්ගයේ සුනඛ පැටවුන් එහා මෙහා යෑම නිසා රියැදුරා දින කිහිපයක්ම කේන්තියට පත්වී සිට ඇති අතර සුනඛ පැටවුන් එක පෙළට යන අවස්ථාවේ රියැදුරා තිරිසන් අන්දමින් සුනඛ පැටවුන් පස්දෙනකු යටකර මරා දමා තිබෙන අතර මේ වනවිට බැල්ලට එක් පැටවකු පමණක් ඉතිරිව ඇති බව ගම්වැසියෝ පැවැසූහ.
අනුරාධපුර _ මහේෂ් විජේසූරිය