ලොකු පුතා රිෂී නිර්මාල් රන්දෙනිය එයාගේ බිරිය ඇංජලා, ලොකු මුනුපුරා රිෂේන් වයස අවුරුදු 10යි, දෙවැනියා නිෂෝන් අවුරුදු 04යි එක්ක ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල ඉන්නවා. පොඩි පුතා සමීර මානාබරණ රන්දෙනිය, එයාගේ බිරිය ඉෂානි, පුංචි මිනිබිරිය අවුරුදු එකහාමාරයි මේ දවස්වල ස්වීඩන්වල ඉඳලා නිවාඩුවට අපේ ගෙදර ඇවිත් ඉන්නවා. දුව උමයංගනා ඉන්ද්‍රචාපා රන්දෙනිය. අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතු නිම කරලා ලංකාවට ඇවිත් අපිත් එක්ක ඉන්නවා
“රවින්ද්‍ර රන්දෙනිය’’ කී සැණින් අටුවා ටීකා ටිප්පනි අවැසි නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ නම් මම අදින් වසර හැත්තෑවක පමණ අතීතයට ගමන් කළෙමි. සිය නිවස ඉදිරිපිටින් වැටුණු කැලණිය දලුගම නුවර පාර දෙපස එක පෙළට අන්නාසි යායකි. එදා නුවර පාර පුංචි ගුරු පාරකි. ඒ ගුරු පාර දිගේ කැලණිය විහාරයට ද යා හැකිය. කැලණිය දලුගම ශාන්ත ප්‍රැන්සිස් පාසලේ හෝඩියේ පන්තියටත්, එකේ පන්තියටත් අකුරු කරන්නට ඒ ගුරු පාර දිගේ ඔහු ගමන් කළේ පා ගමනෙනි. අපි කවුරුත් ආදරේ රවි අයියාගේ වචනවලින් ම ඒ කතාව අහමු.
“කැලණිය දලුගම කියන්නේ මගේ තාත්තා, සීයා උපන් ගමයි. මහ ගෙදර තිබුණේ නුවර පාර අයිනේ ම යි. පාරයි ගෙදරයි අතර මීටර් දෙසීයක් විතර දුර තිබුණා. මගේ තාත්තා එල්.පී. පෙරේරා; අම්මා කැරලයින්. තාත්තා පුංචියට ජීවිතය පටන් අරගෙන 1943දී විතර පිත්තල කර්මාන්ත ශාලාවක් පටන් ගත්තා. කැලණියේ පිත්තල කර්මාන්තය ආරම්භ කිරීමට අපේ තාත්තා පුරෝගාමියා වුණා. නමුත් තාත්තාගේ ගමනට ශක්තිය වුණේ අම්මා යි. මහා රෑ වනතුරු අපේ අම්මා කුප්පි ලාම්පුව පත්තු කරගෙන තාත්තාගේ පිත්තල නිර්මාණ කටයුතුවලට උදව් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ අම්මා ගමේ හැමෝට ම නොසෑහෙන්න උදව් කළා. කෙනෙක් දෙයක් ඉල්ලුවොත් අම්මා නොදී ඉඳලා නැහැ. කිසි ලෝබකමක් ඇයට තිබුණේ නැහැ. ඒත් සකසුරුවම අපි ඉගෙන ගත්තේ අම්මාගෙනුයි. තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කළ මුදල් අම්මා හරි විදිහට ඉතිරි කළා.
මට අය්යා කෙනෙකුයි, නංගිලා දෙන්නෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. එක මල්ලි කෙනෙක් නම් නැති වුණා. අම්මා තාත්තාත් දැන් නැහැ. අපි හය දෙනා ව අම්මා හොඳින් රැක බලා ගත්තා. අපි පස්සේ කාලෙක කාර් එකෙන් පාසලට යන කාලෙදිත් අම්මා වත්තෙන් අහුලපු පොල් අතු පොඟවලා, වියලා විකුණුවා මට මතකයි. එයාගේ හිතේ කිසි ම ලොකුකමක් තිබුණේ නැහැ. අපේ අම්මා කුඹුරු, වතුපිටි තිබුණු පවුලක කෙනෙක් වුණත් ඒ ගැනවත් ආඩම්බරකමක් තිබුණේ නැහැ. හැමෝම එක්ක හොඳින් කතාබහ කළා. මම නම් පුංචි කාලේ හරි ම දඩබ්බර යි. අපි ක්‍රිස්තියානි කතෝලික අය යි. අපේ ගමේ නාන ළිඳක් තිබුණා. ඉරිදා දවල්ට ඒ ළිඳට ගිහින් අපි හැමෝම හොඳට නාලා ඇවිත් එකට වාඩි වෙලා කෑම කෑවා. ඒක අපි හැමෝට ම ලොකු සතුටක් වගේ ම අපි අතර එකමුතුකම් වැඩෙන්නත් ඒ කෑම වේල හේතුවක් වුණා. අපි පැයක් විතර මේසේ වටේට වාඩි වෙලා එදාට කෑම කනවා. පස්සේ කාලෙක මම රූගත කිරීම්වලට සම්බන්ධ වුණා ම තාත්තා දවසක් මට කිව්වේ ‘මොකක්ද ඔය රස්සාව; ඉරිදාට කෑම කන්නවත් උඹ නෑනේ…’ කියලා. ඒ තරම් ඒ කෑම වේල අපි හැමෝට ම වැදගත් වුණා.”
පළමු පන්තිය අවසන් වූ පසු දෙවන පන්තියේ සිට උසස් පාඨමාලා විභාගය (උසස් පෙළ) දක්වා රවීන්ද්‍ර ඉගෙනීම් කටයුතු කළේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙනි. ඉගෙනීමට ඉතා දක්ෂයෙක් වූ ඔහු පන්තියේ මුල් පස් හය දෙනා අතර නිතර රැඳුණේ ය. ඒ කාලයේ උසස් පෙළ විෂයයන් තෝරා ගන්නට තිබුණේ අටේ පන්තියේ දී ය. ඔහු එහිදී තෝරා ගත්තේ විද්‍යා විෂයයන් ය.
“එතැන ඉඳලා විද්‍යා විෂයයන් හදාරන්න තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙනුයි. මං දන්න කියන කිසි කෙනෙක් ඉංග්‍රීසි දැනගෙන හිටියේ නැහැ. තාත්තා නම් ඉංග්‍රීසියෙන් චෙක්වල අත්සන් කළා. එහෙමවත් ඉංග්‍රීසි අකුරක් දන්න කෙනෙක් ළඟපාතක හිටියේ නැහැ. ඒත් මං උත්සාහය අතහැරියේ නැහැ. පොඩි කාලේ ඉඳලා ම සිංහල, හින්දි චිත්‍රපට බලන්න අපි ගියා. හින්දි සිනමාව ගැන මට උනන්දුවක් තිබුණ නිසා ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාව මම ගෙන්වගෙන කියවන්න පටන් ගත්තා. ඒ සඟරාව හොඳ ම ඉංග්‍රීසිවලින් ලියා තිබුණා. ඇත්තට ම ඒ කියවීමෙන් මගේ ඉංග්‍රීසි දැනුම හැදුණා. ඉස්සර මම යාළුවන්ට කතා කරලා කියනවා අනේ මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න එන්න කියලා. ඒ තරම් මට ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් තිබුණා. උසස් විභාගය ආරම්භ වුණාට පස්සේ අසනීප වෙලා දින දහයක් එකදිගට මට රෝහල්ගත වෙලා ඉන්න සිද්ධ වුණා. මම විභාගය අතෑරියා. තාත්තාගේ පිත්තල වැඩවලට ටික කාලයක් සම්බන්ධ වෙලා වැඩ කළා.”
ඔහු පොත් කියවීමට ලොල් වූ අයෙක් නිසා ම පහ හය පන්ති වෙද්දී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවා අවසන් කර තිබිණි. පොත් කියවීමත්, අම්මාගේ අම්මා නැත්නම් ආච්චි අම්මාගේ ගමේ ජීවිත අත්දැකීමත් රවීන්ද්‍ර රන්දෙනිය නම් වූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියා බිහි කිරීමෙහිලා පසුබිම සකසා තිබිණි.
“ඉස්කෝලේ නිවාඩු දෙන්නේ අද නම් අද ගෙදර ආව ගමන් මගේ සූට් කේස් එකට කලිසම් කෑලි දෙකක්, කමිසයක්, සරමක් දාලා පහුවදාට ආච්චි අම්මාගේ ගමේ යන්න ලෑස්ති වෙනවා. හැම අවුරුද්දක ම පාසල් නිවාඩු දෙන තුන් වතාවේදී ම ඒ නිවාඩුව ඉවර වෙන දවස වනතුරු ම මම ආච්චිලෑ ගෙදර ඉඳලා එනවා. ඒ ජීවිතය මගේ හැමදේකට ම බලපෑවා. දැන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව තියෙන හරියේ තමයි ආච්චිලෑ මහා ගෙදර තිබුණේ. ඒ ඉඩම වෙල්යායකින් කෙළවර වෙනවා. ඒ අසලින් දොළ පාරක් ගලාගෙන ගියා. ඉඩම මායිම අද්දර ගල් තලාවක් තිබුණා. ඈතින් ගලේ පන්සල පෙනෙනවා. මම මේ ගල්තලාව උඩ වාඩිවෙලා ඔහේ ඈත බලාගෙන වරු ගණන් ඉන්නවා. බොහෝ දවස්වලට ගෙට එන්නේ කරුවල වැටිලා වවුලෝ ඉගිළෙන්න පටන් ගත්තාටත් පස්සෙයි. අහසේ ආලෝකය නොපෙනී යනතුරු මම එතන තනියම ඉන්නවා. ගහකොළවල වැදිලා හමාගෙන ආ සුළඟේ සිසිල, අහසේ වලාකුළු රටා, ගලේ පන්සලේ අසිරිය, ඈත කඳු පන්ති මම අත්වින්දා.
අලුත් අවුරුදු කාලෙට පරිසරයේ සිදු වන සෘතුමය වෙනස්වීම මම ඒ ගමේදී හොඳට ම දැක්කා. දැන් බක් මහ උදා වෙලයි තියෙන්නේ. නමුත් තවමත් කොහාගේ හඬ අපට ඇහෙන්නේ නැහැ. එරබදු මලක් දකින්න එරබදු ගස් නැහැ. ඉස්සර මේ කාලෙට එරබදු ගහේ කොළ හැලිලා මුළු ගහ ම ගිනි රතු පාට මල්වලින් පිරෙනවා. බලන බලන හැම තැන ම එරබදු ගස් තිබුණා. එදා ගමේ කුඹුරුවල යල කන්නයේ ගොයම් කපලා අස්වනු ගෙට අරගෙන හැමෝගෙම අතමිට සරු කාලය බක් මාසය යි. අලුත් සහල් ගෙට අරගෙන වසන්තය සමරන්න ලෑස්ති වෙන කාලය එය යි. අකුණු ගහමින් මහා වැසි වැහැලා කුඹුර, ඇළ ලියැදිවල වතුර පිරෙන්නේ ඊළඟ කන්නේ වගාවට පොළොව හැදෙන්නයි. අලුතෙන් සරමක් කම්බායක් ඇඳගෙන ගමේ හැමෝගෙම මූණුවල සතුට පිරිලා ඉතිරිලා යනවා. මාත් සීයා එක්ක හරි හරියට කුඹුරට බැහැලා හරක් පස්සේ යනවා. වක්කඩ ළඟට අන්තිමට එකතුවන තිත්ත පැටව්, හඳයෝ, කක්කුට්ටෝ, ලූල්ලු අද දකින්න නැහැ. පුංචි පුංචි කඳු අතරින් විටින් විට ඇසුණු රබන් හඬ මට තාමත් ඇහෙනවා දැනෙනවා. ඒ තමයි නියම අවුරුද්ද වුණේ. අද ඒ අවුරුදු නෑ. මං පුංචි කාලේ අත්වින්ද අලුත් අවුරුද්ද අද මතක්වෙද්දි දැනෙන්නේ සඳහට ම ඈත් වී ගිය ප්‍රේමයක් වාගෙයි. හදවත ඇතුළෙන් සියුම් වේදනාවක් ඒ ප්‍රේමය ගැන මතක් වෙද්දී දැනෙනවා. පරිසරයට තිබුණු ආදරය නිසයි මම පොත් කියවීමට ඇබ්බැහි වුණේ.”
විභාගයට නිසි පරිදි පෙනී සිටින්නට දෛවෝපගත ව නොහැකි වීම නිසා කලකිරුණු රවීන්ද්‍ර පසුව ලුම්බිණි රඟහලේ නාට්‍ය නැරඹීමට ඇබ්බැහි වූයේ ය. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන වැනි නාට්‍ය කලාවේ පතාක යෝධයන් විකුම් පෑ කාලය විය.
“නාට්‍ය අධ්‍යක්ෂණය, තිර පිටපත, වේදිකා සැරසිලි ඉගෙන ගන්න කියලා මම රුපියල් 10ක් දීලා ලයනල් වෙන්ට්ඩ් එකේ තිබුණු රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අධීක්ෂණය යටතේ ධම්ම ජාගොඩ එය මෙහෙයවූවා. අපේ ලෝකේ වීරවරුන් හා වීරවරියන් ලෙස සැලකුණු කලා ශිල්පීන් එහිදී අපට ඉගැන්වීම් කළා. ඔවුන් ව දැක බලා ගන්න, ඔවුන් එක්ක වැඩ කරන්න ආසාවට මම ඒ පාඨමාලාවට බැඳුණා. රඟපෑමට කිසි වුවමනාවක් මට තිබුණේ නැහැ. හැම අංශයක ම විෂය හදාරන ළමයි ඔක්කොම එකතු කරලා එක පන්තියක් සතියට වතාවක් පවත්වනවා. ඒකෙදී බොහෝ චරිත නිරූපණවලදී ධම්ම ජාගොඩ මාව යොදා ගත්තා. මූදු පුත්තු නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න මාව එහිදී තෝර ගත්තා. අපේ ප්‍රථම නාට්‍ය බලන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාත් ආවා. එදා එතුමා මගේ රංගනය අගය කළා. ඒ වෙද්දි ගම්පෙරළිය, නිධානය කරලා ඉහළ ම තලයක ඔහු හිටියා. ඒ අගය කිරීම මහා මෙරක් වගේ මට දැනුණා. ඊට පස්සේ ‘කළු දිය දහර’ නාට්‍යයට සම්බන්ධ වුණා. එතැන ඉඳලා ඉතින් ‘සමනල කන්ද මුඳුනේ සිට පැන නැංගා…..’ වගේ මේ රංගන ජීවිතය මේ දක්වා පුංචි පුංචි දිය පාරවල්, ඇළ දොළ දියඇළි ගංගා ලෙසින් විටෙක දුෂ්කරතාත්, විටෙක අපූරුවත්වයත් සමඟ ගලා එනවා.”
ප්‍රථම නිර්මාණයෙන් දෙවසරටකට පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “දෑස නිසා’’ චිත්‍රපටයට සම්බන්ධ වන්නට රවීන්ද්‍රට අවස්ථාව උදා විය. ඔහුගේ ජීවිතයේ දෙවන භාගය ආරම්භ වන්නේ එහිදී ය. අපි ඒ ගැන කතා කළේ ප්‍රීති රන්දෙනිය සමඟිනි.
“මගේ ගම රත්මලාන යි. මට අයියලා තුන්දෙනයි, අක්කායි, මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. ඒ කාලේ රත්මලාන ගමක් වුණත් අපේ අහල පහල හිටියේ නෑදෑයෝ නෙවෙයි. අපේ ගෙදර පුංචි කාලේ ලයිට් තිබුණෙත් නෑ. දෙමව්පියෝ හරි ම අමාරුවෙන් තමයි අපිව රැක බලා ගත්තේ. මුහුද එක්ක අපේ ලොකු බැඳීමක් තිබුණා. අපේ ගෙදර ඉඳලා මුහුදට යනකං කිසි ම වැටක්, මායිමක්, තාප්ප, කොන්ක්‍රීට් මුකුත් තිබුණේ නැහැ. මුහුද හරි පිරිසිදුවට තිබුණා. අම්මා අපි ව මුහුදට එක්කගෙන යනවා. අපි මුහුදේ නානවා. මුහුද අයිනේ දිගට ම පොල් ගස් යායක් තිබුණා. අද ඒවා නැහැ. බිල්ඩින්, ගෙවල්, තාප්ප හැදිලා. ඉස්සර නම් අපට මුහුද හරි ළඟයි. ඒත් දැන් ගිහින් බලද්දි තාප්ප ගොඩකට එහායින් මුහුද ගොඩාක් ඈත් වෙලා කියා දැනෙනවා. අපි ඉස්සර රෑට හුළු අතු පත්තු කරගෙන වෙරළ දිගේ කකුළුවෝ බලන්න යනවා. හරි ම විනෝදෙන් ගෙවුණු ළමා කාලයක් අපට තිබුණා.
ඒ කාලේ අපේ අම්මා බත් ඉව්වේ වී තම්බන ලොකු හැළියක යි. ගෙදර අපි ළමයි හත් දෙනයි, අම්මායි, තාත්තායි, ගමේ අහල පහල තව කවුරු හිටියත් අපේ අම්මා ඒ හැමෝට ම කන්න දුන්නා. ඊළඟට නිවාඩු කාලෙට පුංචිගේ ළමයිනුත් අපේ ගෙදර ඇවිත් නවතිනවා. එයාලත් එක්ක ලොකු පිරිසක් අපේ ගෙදර කෑමට හිටියා. අද කල්පනා කරද්දි අපේ අම්මා ඒ තරම් සෙනගකට හැමදාම කන්න දුන්නේ කොහොමද කියලා හිතෙනවා. හැබැයි ඉතින් ලොකු ලොකු වියදම් තිබුණේ නැති නිසා ලැබෙන දෙයින් කන්න පුළුවන් වුණා. ගෙවල් ළඟ තිබුණු ශ්‍රී ධර්මාරාම පාසලට මම ගියා. ළමයි හරි ම ටික දෙනයි හිටියේ. ඒ කාලේ මම මිහිර පත්තරේ අරන් පොඩි පොඩි ඒවා ලියලා දැම්මා ම ඒවා පළ වුණා. තෑගි ලැබුණා. ඒ ගැන කාටවත් ම කිව්වේ නැහැ. අම්මා අපිව ඉස්සර චිත්‍රපටි බලන්න එක්කගෙන යනවා. ඒවා බලලා ගෙදර ඇවිත් මම ඒවා රඟපානවා.
ලක්ෂ්මන් විජේසේකර කියන්නේ අපේ පුංචි අම්මාගේ පුතෙක්. දයානන්ද ගුණවර්ධනයන් නරිබෑනා නාට්‍යයේ ගෑනු ළමයාගේ චරිතයට කෙනෙක් හොයනවා කියලා ලක්ෂ්මන් අයියා අපේ අම්මාට කියලා මාව ඒකට යැව්වා. එතැනින් සෛලාසනය නාට්‍යයට සම්බන්ධ වෙලා සුදර්ශියේ පුහුණුවීම් කළා. ඊට පස්සේ සුමිත්‍රා පීරිස් මහත්මිය ගෑනු ළමයි චිත්‍රපටයට කතා කළා. ඊට පස්සේ ගෝඩ්කිං එකේ පුහුණුවීම් කළා. ඊටත් පස්සේ තමයි “දෑස නිසා” චිත්‍රපටයේ පුංචි චරිතයක් මට ලැබුණේ. ඉතින් ඒකේ රඟපාන්න අලුත් නළුවෙක් එනවා කියලා කට්ටිය කතා වෙනවා මට ඇහුණා. මං ශ්‍රියාණි අක්කාගෙන් ඇහුවා “අලුත් නළුවෙක් ගත්තා කියන්නේ…, එයා නැද්ද..’’ කියලා. ශ්‍රියාණි අක්කා කිව්වේ එයා එන්න පරක්කු වෙනවා කියලා යි. මම ඒ වෙලාවේ නාලා කොණ්ඩේ එහෙම කඩාගෙන දිගට දාගෙන හිටියේ. මගේ කොණ්ඩේ ඒ දවස්වල දිගට ලොකුවට තිබුණා. ඉතින් එහෙම අහලා වැඩි වෙලාවක් ගියේ නැහැ. එතැනට එන්න නොතිබුණත් අලුත් නළුවා එතැනට පැමිණියා. ශ්‍රියාණි අක්කා එකපාරට ම එයාට කිව්වා “මේ ඔයාව බලන්න කියලා කෙනෙක් මෙතන ඉන්නවා’’ කියලා. මම ලැජ්ජාවට එතැනින් පස්සේ එළියටවත් ආවේ නැහැ.
අන්තිමට ඉතින් ඒ හමුවීමෙන් මට පුතාලා දෙන්නෙකුයි, දුවෙකුයි ලැබුණා. ලොකු පුතා රිෂී නිර්මාල් රන්දෙනිය එයාගේ බිරිය ඇංජලා, ලොකු මුනුපුරා රිෂේන් වයස අවුරුදු 10යි, දෙවැනියා නිෂෝන් අවුරුදු 04යි එක්ක ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල ඉන්නවා. පොඩි පුතා සමීර මානාබරණ රන්දෙනිය, එයාගේ බිරිය ඉෂානි, පුංචි මිනිබිරිය අවුරුදු එකහාමාරයි මේ දවස්වල ස්වීඩන්වල ඉඳලා නිවාඩුවට අපේ ගෙදර ඇවිත් ඉන්නවා. දුව උමයංගනා ඉන්ද්‍රචාපා රන්දෙනිය අවුරුදු හතරක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යයන කටයුතු නිම කරලා ලංකාවට ඇවිත් අපිත් එක්ක ඉන්නවා.’’
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “දෑස නිසා’’ එකිනෙක බැඳුණු රවීන්ද්‍ර – ප්‍රීති දෙදෙනාගේ දෑස් තව චිරාත් කාලයක් එලෙස ම බැඳී පවතීවා.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත