මේ මස පැවැත්වීමට නියමිත ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සමුළුවෙන් පසු ඉල්ලා අස්වන ලෙස පාකිස්තාන හමුදාවේ ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ප්‍රමුඛ පාකිස්තාන හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් මේ හේතුවෙන් අගමැතිවරයා වෙත එල්ල වී ඇති දේශපාලන පීඩනය තවත් වැඩි වී ඇති බවත් වාර්තා වනවා.
ඒ අනුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉදිරියේ දී දැඩි මර්දන පියවරයන් අනුගමනය කිරීමට ඉඩ ඇති බවත් පවතින තත්ත්වය තුළ ඔහු විසින් හමුදා ප්‍රධානියා නෙරපා හැරියහොත් භයානක තත්ත්වයක් මතු විය හැකි බවත් එරට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හමුදා ප්‍රධානි බජ්වා , ලුතිනන් ජෙනරාල් නදීම් අන්ජුම් ඇතුළු හමුදා ප්‍රධානින් ඉම්රාන් ඛාන් හමුවීමෙන් පසු පැවති සාකච්ඡාවකදී ඉම්රාන් ඛාන්ට විශ්වාසභංගයෙන් පලායාමේ මාර්ගයක් ලබා නොදීමට ඒකමතිකව තීරණය කර ඇති බව එරට වාර්තාවල සඳහන් වේ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (21) දිනයේ ජාතික සභාවේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතය.
කථානායකවරයා විසින් යෝජනාව පිළිගැනීම හෝ ප්‍රමාද කිරීම ප්‍රතික්ෂේප කළහොත් මාර්තු 22-23 දිනවල ඉස්ලාමීය රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වෙන සභා ලේකම් කාර්යාලයේ වාඩි වී විරෝධතාවයක නිරත වන බවට ද විපක්ෂය අනතුරු අඟවා තිබේ.
කතානායකවරයා විසින් අද දිනයේ යෝජනාව පිළිගනු ලැබුවහොත් ඊට අදාළ විශ්වාසභංග ඡන්ද විමසීම මාර්තු 28 වැනිදා පැවැත්වෙනු ඇත.




