ඇෆ්ගන් වෛද්‍ය සිසුන් පිටුවහල් කිරීමේ තීරණයට පාකිස්තාන අධිකරණය තාවකාලිකව අත්හිටුවයි

පාකිස්තානයේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලබන ඇෆ්ගනිස්ථාන සිසුන්ට යළි සිය රටට යන ලෙස නිකුත් කළ නියෝග අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව තිබෙනවා.

පාකිස්තාන වෛද්‍ය හා දන්ත වෛද්‍ය කවුන්සිලය විසින් නිකුත් කළ මෙම නියෝගවලට එරෙහිව සිසුන් පිරිසක් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, ලාහෝර් සහ සින්ද් මහාධිකරණ එම නියෝග ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලාහෝර් මහාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ සිසුන් 13 දෙනෙකු අතර සිසුවියන් හත්දෙනෙකු ද සිටින බව වාර්තා වනවා.

අදාළ නියෝග හේතුවෙන් තම අධ්‍යාපනයට බාධා සිදුවන බවත්, සාධාරණ නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව තමන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔවුහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ වලංගු වීසා සහ පිළිගත් අධ්‍යාපන ආයතනවල ලියාපදිංචිය ඇති ඇෆ්ගන් සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවසර හිමිවන බවයි.

පාකිස්තානයේ ඇෆ්ගන් සිසුන් සම්බන්ධ මෙම ගැටලුව මතුව ඇත්තේ, ලේඛනගත නොවූ විදේශිකයන් යළි සිය රටවලට යැවීමේ වැඩපිළිවෙළ සහ පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ආතතීන් මධ්‍යයේයි.

මේ අතර, ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය යටතේ ගැහැනු ළමයින්ගේ ද්විතීයික අධ්‍යාපනය සහ කාන්තාවන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දැඩි සීමාවන්ට ලක්ව තිබෙනවා.

එබැවින්, යළි ඇෆ්ගනිස්ථානයට යාමට සිදුවුවහොත් විශේෂයෙන් කාන්තා වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපන අනාගතය තවදුරටත් අවිනිශ්චිත විය හැකි බව වාර්තා වනවා.

අධිකරණයේ තාවකාලික නියෝග මගින් අදාළ පෙත්සම්කරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇතත්, ඇෆ්ගන් සිසුන් සම්බන්ධ පුළුල් ගැටලුවට මෙතෙක් අවසන් නීතිමය විසඳුමක් ලැබී නැහැ.