බැංකු කාඩ්පතින් කොටුවූ කෝටිපති හිඟන්නිය

සමන් පෙරේරා මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන ඔහු යහපත් ගතිගුණවලින් යුතු අවංක මිනිසෙකි. එය ඔහු ඇසුරු කරන සියලූ දෙනා හොඳාකාරවම දනිති.

පසුගිය සතියේ දිනක ඔහු මොරටුව ප‍්‍රදේශයේ පිහිටි එක්තරා සුපිරි වෙළෙඳසලකට ගොස් නිවසට අවශ්‍ය දෑ රැගෙන එළියට පැමිණියේය. එලෙස එළියට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ මෝටර් රථය අසල සිටි යාචක කාන්තාවක් මෙලෙස පැවසුවාය.

‘‘අනේ සර් මට කීයක් හරි දෙන්න. වේල් ගානකින් මම හරියට කෑම වේලක් කාලා නැහැ. මට පොඩි උන් තුන් දෙනෙක් ඉන්නවා. උන්ට කන්න බොන්න දෙන්න ඕනා. මම මෙහෙම ඉන්න ඕන එක්කෙනෙක් නෙවෙයි සර්. ඒත් අද මට මෙහෙම හිඟා කන්න වෙලා තියෙනවා. පින් අයිති වෙයි සර්ට මගේ පොඩි උන් තුන්දෙනා ගැන හිතලා කීයක් හරි දෙන්න.”

‘‘ඇයි ඔයාගේ මහත්තයා නැද්ද?.”

‘‘ඒ මිනිහා නිසා තමයි මට මෙහෙම පාරට බහින්න සිද්ධ වුණේ.”

‘‘ඇයි ඒ.”

‘‘ඒ මිනිහා කුඩු කාරයෙක්. මම දන්නැතුව රැවටුනා. අන්තිමට ගෙවල් දොරවල් පවා විකුණලා ඒ මිනිහා කුඩු

ගැහුවා. ඊට පස්සේ මටයි ළමයි තුන්දෙනාටයි පාරට බහින්න සිද්ධ වුණා. දැන් ළමයි තුන්දෙනාම ජීවත්කරවන්න මෙහෙම හිඟා කනවා.”

‘‘ළමයි තුන්දෙනා කොහෙද ඉන්නේ.”

‘‘ඉන්න තැනක් නැති නිසා ටකරම් වලින් පොඩි මඩුවක් ගහගෙන ඉන්නවා සර් කළුතර පැත්තේ. ලොකු කෙල්ලට අවුරුදු දහයයි. ඒකි තමයි අනිත් දෙන්නවත් බලා ගන්නේ මම එනකම්. මම මෙතන ඉඳන් කීයක් හරි හොයාගෙන ඉක්මනට ගෙදර යනවා”

‘‘ළමා නිවාසයකට හරි දාලා ළමයින්ට උගන්වන්න බලන්න. නැත්නම් ඒගොල්ලන්ගෙ අනාගතයත් අඳුරු වේවි. මෙන්න මේ මුදල තියා ගන්න.”

එලෙස පැවසූ සමන් යාචක කාන්තාවට තම කලිසම් සාක්කුවේ තිබූ මුදල් නෝට්ටු වලින් කිහිපයක් දුන්නේය. එලෙස දෙන අවස්ථාවේ ඔහුගේ කලිසම් සාක්කුව තුළ තිබූ බැංකු කාඞ්පත ද එම ස්ථානයේ වැටුණි. යාචක කාන්තාව එය දුටුවත් නොදුටුවා සේ සිටියාය. ඒ ඔහු ගිය පසු එම බැංකු කාඞ්පත ලබා ගැනීමේ කුහක අරමුණින්ය.

යාචක කාන්තාවට මුදල් ලබාදුන් පසු සමන් තම මෝටර් රථයට නැගී නිවස බලා පිටත් විය. සමන් එලෙස පිටත්ව ගිය පසු යාචක කාන්තාව ඔහුගේ බැංකු කාඞ්පත කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් වැටුණු ස්ථානයෙන් ගෙන මෙලෙස කල්පනා කළාය.

‘‘මේ මිනිහා ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඇති. මේ කාඞ් එකේ හොඳට සල්ලි ඇති. ඒක නිසා මේකෙන් කොහොමහරි සල්ලි ටිකක් ගන්න ඕනා අදම.”

කිහිපවිටක් එලෙස සිතූ ඇය හිඟාකෑම පසෙක දමා සුපුරුදු ස්ථානයට ගොස් වැරහැලි ඇඳුම් සහ තම රූප ස්වභාවය වෙනස්කර ගනිමින් නිවස බලා යෑමට පිටත් වූවාය. එලෙස තම නිවසට පැමිණි ඇය ස්වාමිපුරුෂයාට මෙලෙස පැවසුවාය.

‘‘ඔයා දන්නවද අද මරු වැඩක් වුණා.”

‘‘ඒ මොකක්ද?”

‘‘එක මහත්තයෙක් මට සල්ලි දෙන්න හදනකොට එයාගෙ කලිසන් සාක්කුවේ තිබිලා බැංකු කාඞ් එකක් වැටුණා.”

‘‘ඉතින්.”

‘‘එයා ගියාට පස්සේ ඒක මම අහුල ගත්තා.”

‘‘ඇයි එහෙම කළේ ඒ මනුස්සයට දුන්නනම් හරිනේ.”

‘‘ඔයාට පිස්සුද?. ඒ මිනිහා හොඳ සල්ලිකාරයෙක් වගේ. අපි ඒකෙන් මොනවා හරි ගමු. සල්ලි තියෙන අයගෙන් එහෙම ගත්තට අපිට පවක් සිද්ධ වෙන්නේ නැහැ.”

‘‘අනේ මන්දා. කෝ දෙන්න බලන්න බැංකු කාඞ් එක.”

යාචක කාන්තාව තම ස්වාමි පුරුෂයාට අහුලාගත් එම බැංකු කාඞ් පත දුන්නාය. එය පරීක්ෂා කර බැලූ ඔහු මෙලෙස පැවසුවේය.

‘‘මේක ක්‍රෙඩිට් කාඞ් එකක්. අපිට මේක දීලා බඩු ගන්න පුළුවන්.”

‘‘ඒකනේ මම ඔයාට කිව්වේ. කල්දාන්න එපා දැන්ම ලෑස්ති වෙන්න. අපි මේකෙන් පුළුවන් තරම් බඩු ගමු. මොන වගේ බඩුද ගන්න පුළුවන්.”

‘‘ක්‍රෙඩිට් කාඞ්වලට ගෙවන්න දෙන ඕන බඩුවක් ගන්න පුළුවන්. ඒ වගේ කඩ ටවුන් එකේ ඕන තරම් තියෙනවා.”

‘‘අපිට වොෂින් මැෂින් එකක් නැහැ. රයිස් කුකර් එකක් නැහැ. ඒවගේ ගෙදර නැති ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගමු.”

‘‘හරි හරි ඔයාගේ කැමැත්තක්.”

යාචක කාන්තාව ඔහුගේ ස්වාමිපුරුෂයා සමග ළඟම තිබූ නගරයට ගොස් සොරකම් කළ එම බැංකු කාඞ්පත භාවිත කරමින් රෙදි සෝදන යන්ත‍්‍රයක්, රයිස් කුකර් එකක් සහ තවත් ගෘහභාණ්ඩ රැසක් මිලදී ගත්තේය. එම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ තුනකට අධික වේ. එලෙස භාණ්ඩ මිලදී ගත් ඔහු නිවසට පැමිණියේ කිසි දිනෙක තමන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට නොහැකි යැයි සිතාය. එදින ඉතා සතුටින් කාලය ගත කළ ඇය පසුදින සුපුරුදු පරිදි යළි සිඟා කෑම සඳහා සුපුරුදු ස්ථානයට ගියාය.

දින දෙකකට පමණ පසු තමන්ගේ බැංකු කාඞ් පතක් නැති වී ඇති බව සමන් දැන ගත්තේය. එය කෙලෙස නැති වුණා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය. දසඅතේ ඔහු ඒ ගැන කල්පනා කළේය. සෙවිය යුතු සෑම තැන්වලම සොයා බැලූවේය. එහෙත් පලක් නොවිණි.

කාඞ් පත ළඟ නොමැති නිසා අදාළ බැංකුවට කතා කර ඒ පිළිබඳව දන්වා කාඞ්පත් අවලංගු කළේය. ඒ සමගම ඇති වූ සැකය මත බැංකු ගිණුමද පරීක්ෂා කර බැලූවේය. එහිදී අනාවරණය වූයේ ලක්ෂ 3 කට අධික මුදලක් තම ගිණුමෙන් අඩු වී ඇති බවයි. එහෙත් ඔහු එවැනි මුදලක් වියදම් කළේ නැත. කිසියම් වංචාවක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි. එම නිසා වහාම ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ. බැංකු ගිණුමෙන් ලද තොරතුරුවලට අනුව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් යොදාගෙන තිබුණේ භාණ්ඩ මිලදී ගැනීම සඳහාය. ඒ අනුව පොලිස් නිලධාරීන් එම භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් වලට ගොස් ඒ පිළිබඳවද පරීක්ෂා කළේය. එහිදී අනාවරණය වූයේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පැමිණ ක්‍රෙඩිට් කාඞ් පතක් භාවිත කරමින් එම භාණ්ඩ මිලදී ගත් බවයි.

පොලිස් නිලධාරීන් එම සැකකරුවන් පිළිබඳ තවත් තොරතුරු රැසක් එම වෙළෙඳසල් හිමියන්ගෙන් අනාවරණය කර ගත්තේය. ලද සියලූ තොරතුරුවලට අනුව එම කාන්තාව පදිංචි කළුතර ප‍්‍රදේශයේ නිවසේ ලිපිනය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

කල් නොයවා එදිනම පොලිස් නිලධාරීන් සැකකාර එම කාන්තාවගේ නිවස සොයා ගියේය. ඒ යන විට ඇය සහ ස්වාමිපුරුෂයා නිවසේ සිටියහ. ඒ අනුව පොලිස් නිලධාරීන් මිලදී ගත් භාණ්ඩ ගැන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළේය. එහිදී ඇයට සත්‍ය වසන් කරගෙන සිටීමට නොහැකි වූවාය. සිදු වූ සියලූ දේ අකුරක් නෑර පොලිස් නිලධාරීන්ට ඇය මෙලෙස පැවසුවාය.

‘‘සර් මගේ රැකියාව හිඟා කන එක. මම මොරටුව ප‍්‍රදේශයේ තමයි හිඟා කන්නේ. දැන් දින කිහිපයකට ඉහතදී මහත්තයෙක් මට සල්ලි වගයක් දුන්නා ඒ දෙනකොට එයාගේ බැංකු කාඞ් එක වැටුණා. මම ඒක අහුලගෙන අපේ මිනිහත් එක්ක ගිහින් වොෂින් මැෂින් එකක්, රයිස් කුකර් එකක් ආදී උපකරණ ගත්තා. ලක්ෂ තුනක් විතර වටින බඩු එම බැංකු කාඞ්පතෙන් අපි මිලදී ගත්තා.”

ඇය එලෙස පවසද්දී එක් පොලිස් නිලධාරියෙක් ඇයගේ කතාවට බාධා කරමින් මෙලෙස විමසුවේය.

‘‘ඔයා හිඟාකනවා නම් මෙච්චර වටින ගෙයක් කොහෙන්ද?.”

‘‘සර් මම මෙච්චර හොඳට ගෙවල් දොරවල් හැදුවේ හිඟා කාල තමයි. අවුරුදු ගාණක ඉඳලම මම හිඟා කනවා. ගමේ කවුරුත් නෑදෑයො හිතමිතුරෝ ඒව දන්නේ නැහැ. උදේ පාන්දර හොඳට ඇඳගෙන යනවා. මගදී ඇඳුම් මාරු කරගෙන රූපය වෙනස් කරගන්නවා. ඊට පස්සේ කාටවත් මාව අඳුරන්න බැහැ. සමහර දවස්වලට මම රුපියල් දහදාහක් හොයලා තියෙනවා. කොරෝනා වලින් පස්සේ නම් ආදායම ටිකක් අඩු වුණා. ඒත් අවුලක්ම නැහැ.

‘‘තව මේ නිවසට අමතරව තවත් ගෙවල් දෙකක් මට තියෙනවා. ඒ ගෙවල් දෙකම මම කුලියට දීලා තියෙන්නේ. මාසෙකට 50,000 ආදායමක් එනවා. මේ සේරම මම කළේ හිඟා කාලා තමයි සර්. පුළුවන් නම් මට සමාවදෙන්න. ආයෙත් මම මේ වගේ වැරදි කරන්නේ නැහැ.”

පොලිසියෙන් ඇයට සමාවක් නොලැබුණි. සැකකාර එම කාන්තාව සහ පුරුෂයාව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකාර කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ මෙරටින් හමු වූ තවත් එක්තරා සල්ලිකාර හිඟන්නියක් පමණි. සල්ලි පොලියට දෙන, යාන වාහන කුලියට දෙන, වටිනා ඉඩකඩම් ආදි දේ ඇති තවත් බොහෝ යාචකයෝ මෙරට සිටිති. ඒ අනුව බලන කල මෙරට සමහර යාචකයෝ සුපිරි ධනවතුන් වෙති.

ගයාන් සමරසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43
Video thumbnail
මඩකලපුව වැවකින් පිරිමි මළ සිරුරු දෙකක් හමුවෙයි
00:56
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51