Rajapura Handi Oil
Rajapura Diabetic Powder

එප්පාවල දී කාන්තාවක් මරා පලා යද්දී වන අලියාගේ ගැටුණු සැකකරු රෝහලේ දී ජීවිතක්ෂයට

එප්පාවල, ගල්මඩුව ප්‍රදේශයේ එක්දරු මවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටිය දී වන අලියෙකුගේ ගැටුණු සැකකරු අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලාකරඹෑව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිව සිටි උකස් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ (27) අලුයම් කාලයේ දී එප්පාවල පොලිස් වසමේ ගල්මඩුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගයනී ඉරෝමා දිසානායක නැමැති එක්දරු මවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වස පානය කර යතුරුපැදියකින් මහඉලුප්පල්ලම දෙසට පලා යමින් සිට ඇති අතර, එහිදී ඝාතනය සිදුකළ නිවසේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි ඇළක් අසලට ඝාතනයට යොදාගත් මන්නා පිහිය විසිකර දමා ගොස් තිබිය දී පොලීසිය විසින් සොයාගනු ලැබුවා.

එලෙස පලා යන අතරතුර මහඉලුප්පල්ලම නගරය ආසන්නයේ දී සැකකරු ගමන් ගත් යතුරුපැදිය වන අලියෙකුගේ ගැටී අනතුරට ලක්ව තිබුණා.

අනතුර සිදුවූ ස්ථානයේ දී වස පානය කර සිටි සැකකරු වමනය කර ඇති අතර, පසුව ඔහුව කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර තිබුණේ.

අධිකරණ නියෝග මත රෝහල්ගතව සිටියදීම රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වස පානය කිරීම හේතුවෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදු වූ හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.