ජනාධිපති අනුර කුමාර දිසානායක, චීන ජනාධිපතිවරයා සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව පැවසූ අමෙරිකානු ඩොලර් බිලියන 4ක ආයෝජනයේ වත්මන් තත්ත්වය කුමක්දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රශ්න කරනවා.
අද (23) පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, අදාළ ආයෝජනය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මාධ්‍ය හමු පැවැත්වුවද එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති ප්‍රායෝගික පියවර පැහැදිලි නොමැති බවයි.
අදානි සමාගම සහ චීනයේ China Merchants සමාගම වැනි විදේශීය ආයෝජකයින් මෙරටින් ඉවත්ව යාමට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතු වූ බවටද ඔහු චෝදනා කළා. එමෙන්ම චීනය, තායිලන්තය සහ ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුම් නවීකරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.
සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ, පසුගිය අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කළ රුපියල් මිලියන 2,119ක මුදලින් වැය කර ඇත්තේ රුපියල් මිලියන 420ක් පමණක් බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ගේ ගැටලු විසඳීමට ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවටද ඔහු චෝදනා කළා.
සංචාරක ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම, විදේශ රැකියා සඳහා නව වෙළෙඳපොළ සොයා ගැනීම සහ විදේශයන්හි තානාපති ධුර පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.
මේ අතර, ජීවන වියදම සහ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලට නොවැම්බර් 30 වැනිදාට පෙර විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.










