Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනයට බාධා එල්ල විය හැකිබවට හර්ෂ ද සිල්වා කියයි

මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය හේතුවෙන් මෙරට ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනවා.

පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා වන අතර, එමඟින් රට අපේක්ෂා කරන ආර්ථික වර්ධනය සහ සංවර්ධනය තවදුරටත් මන්දගාමී විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

මහ බැංකුව උද්ධමනය සියයට 9ක් දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කරමින්, ඉල්ලුම පාලනය කිරීම සඳහා ජනතාවගේ වියදම් කිරීමේ හැකියාව සීමා කිරීමට පොලී අනුපාත ඉහළ දමා ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එමෙන්ම මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4.7ක් ලෙස වාර්තා වුවද, ඉන් සියයට 0.7ක දායකත්වයක් බදු ආදායමෙන් ලැබී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම පමණක් නොව, එහි ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාව වෙත ගලා යාම ද ප්‍රමාද විය හැකි බව හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.