පසුගිය 20 වනදා පස්වරුවේ බොරැල්ල පොලිස් වසමේ කනත්ත වටරවුම ආසන්නයේ, රේමන්ඩ් මල් ශාලාව අසල පදික මාරුවේදී සිදුවූ බව කියන බහින්බස් වීමක් සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
බොරැල්ල පොලිසිය මගින් 37 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා වූ සංඥාවේ රතු එළිය දැල් වී තිබියදී පදිකයින් දෙදෙනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී, රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් පදික මාරුව අසළ නවතා තිබෙනවා.
එහිදී රියදුරු විසින් නළාව නාද කිරීම හේතුවෙන් ඇති වූ බහින්බස් වීමකින් පසු පහරදීමක් සිදුවූ බවට පුද්ගලයෙක් විසින් බොරුල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම සිද්ධියට අදාළව පැමිණිලිකරු විසින් AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු පැදවූ ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
