ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ චීන සම්භවයක් සහිත විද්‍යා පර්යේෂිකාවක් ඇමෙරිකානු ආගමන නිලධාරීන් භාරයට*
ඇමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ පර්යේෂණවල නිරත චීන සම්භවයක් සහිත පර්යේෂිකාවක්, අධ්‍යයන සමුළුවකට සහභාගී වී ආපසු යමින් සිටියදී ඇමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊවා යී ෂී නම් ඇය, වොෂින්ටන් නුවර පැවති ස්නායු විද්‍යා සමුළුවකට සහභාගී වී නිව් ජර්සි ප්‍රාන්තයේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී පසුගිය බ්‍රහස්පතින්දා මෙලෙස රඳවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.
ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පාඨමාලාවේ තෙවැනි වසරේ අධ්‍යයනය කරන පර්යේෂිකාවක්.
2016 වසරේ සිට ඇමෙරිකාවේ පදිංචිව සිටින ඇයගේ වීසා බලපත්‍රයේ වලංගු කාලය අවසන් වී තිබුණ ද, සරණාගතභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත විභාග වෙමින් පැවතීම හේතුවෙන් නීත්‍යනුකූලව රට තුළ රැඳී සිටීමට අවසර තිබූ බව ඇයගේ නීතිඥයෝ පවසනවා.
වොෂින්ටන්හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපළේදී තමන් රඳවාගෙන ඇති බව ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමේ සගයන්ට පණිවිඩ හුවමාරු යෙදුමක් ඔස්සේ දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව ඔවුන්ට ඇය සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ගැනීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.
පසුගිය සිකුරාදා වන විට ඇය වර්ජිනියා ප්‍රාන්තයේ චැන්ටිලිහි පිහිටි ආගමන හා රේගු බලාත්මක කිරීමේ මධ්‍යස්ථානයක රඳවා සිටි බව වාර්තා වනවා.
විදේශීය විද්‍යාඥයන් සහ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරන දැඩි පියවර හමුවේ රඳවාගත් විදේශීය සම්භවයක් සහිත විද්‍යාඥයන් අතරට ඇය ද එක්ව සිටිනවා.










