Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඔක්තෝබර් මාසයට අදාළ මහපොළ ශිෂ්‍යත්ව වාරිකය ලබාදීම අද

2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ තෝරාගත් සුදුසුකම්ලත් සියලුම සිසුන්ට 2026 ඔක්තෝබර් මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරිකය අද (19) ලබාදෙන බව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) නිවේදනය කරනවා.

එමෙන්ම 2024/2025 අධ්‍යයන වර්ෂයට අදාළව ගෙවීමට ඇති හිඟ ශිෂ්‍යත්ව වාරික මුදල් 2026 දෙසැම්බර් මාසයේදී ගෙවීමට ද කටයුතු යොදා ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ.

විශ්වවිද්‍යාල සිසුන්ට බාධාවකින් තොරව මූල්‍ය ආධාර සැපයීම සහතික කිරීමේ අරමුණින් මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල සිය ශිෂ්‍යත්ව ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව ශිෂ්‍යත්වලාභීන්ට නියමිත වේලාවට සහ නිතිපතා මූල්‍ය ආධාර ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර, එමඟින් අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව අධ්‍යාපනික වියදම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සැලසෙන බව අරමුදල පෙන්වා දෙනවා.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා මූල්‍ය ආධාර ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රතිපත්තිමය කැපවීමට සමගාමීව, පසුගිය වසර දෙක තුළ මහපොළ ශිෂ්‍යත්ව දීමනාව මසකට රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා 100%කින් ඉහළ නංවා තිබෙනවා.

මෙම වැඩි කිරීම තුළින් ශිෂ්‍ය සුබසාධනය ඉහළ නැංවීම, උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වීම සඳහා සිසුන්ට සහායවීම සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල මූල්‍ය බර අඩු කිරීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල දක්වන කැපවීම පිළිබිඹු වන බව ද එම අරමුදල සඳහන් කරනවා.

නිතිපතා ශිෂ්‍යත්ව වාරික ගෙවීම තුළින් සිසුන්ට වැඩි මූල්‍ය සුරක්ෂිතතාවක් ලබාදීමත්, අනවශ්‍ය මූල්‍ය පීඩනයකින් තොරව අධ්‍යයන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට අවස්ථාව සැලසීමත් අරමුදලේ අපේක්ෂාවයි.

සියලුම සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට කාර්යක්ෂමව, විනිවිදභාවයෙන් සහ බාධාවකින් තොරව ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබාදීම සහතික කිරීම සඳහා සිය මූල්‍ය හා පරිපාලන ක්‍රියාවලීන් අඛණ්ඩව ශක්තිමත් කරන බව ද මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල වැඩිදුරටත් සඳහන් කරනවා.