විදේශීය සංචාරකයන්ට ඉන්දියාවට පැමිණීම වඩාත් පහසු කිරීම සඳහා එරට වීසා ක්‍රමවේදය පුළුල් ලෙස සංශෝධනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් පැවති සංචාරක වීසා වෙනුවට නව “Visitor Visa” කාණ්ඩයක් හඳුන්වා දී ඇත. සංචාරයට අමතරව කෙටි කාලීන ව්‍යාපාරික හමුවීම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම, සුවතා වැඩසටහන්වලට සහභාගි වීම සහ සංස්කෘතික පාඨමාලා හැදෑරීම ද ඊට ඇතුළත්.
මෙම සංශෝධන යටතේ ඉන්දියාවේ ප්‍රධාන වීසා කාණ්ඩ සංඛ්‍යාව 13 සිට 9 දක්වාත්, උප කාණ්ඩ සංඛ්‍යාව 49 සිට 23 දක්වාත් අඩු කර තිබේ. වීසා අයදුම්පත්‍රවල පිරවිය යුතු තොරතුරු ප්‍රමාණය ද සියයට 65ත් 70ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිතයි.
නව වීසා ක්‍රමය V-1 සහ V-2 ලෙස කාණ්ඩ දෙකකින් සමන්විතය. V-1 වීසා බලපත්‍රය දින 30ක් සඳහා කිහිපවරක් ඉන්දියාවට ඇතුළුවීමට අවසර ලබාදෙන අතර, V-2 වීසා බලපත්‍රය වසරක, වසර පහක හෝ වසර දහයක කාලසීමාවක් සඳහා ලබාගැනීමේ හැකියාව පවතිනවා.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට පැමිණෙන විදේශිකයන්ට ද නව පහසුකම් හඳුන්වා දී තිබෙනවා.
සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා M-1 වීසා කාණ්ඩයත්, ආයුර්වේද ඇතුළු සාම්ප්‍රදායික AYUSH වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා M-3 වීසා කාණ්ඩයත් හඳුන්වා දී තිබෙනවා.
මෙම වීසා බලපත්‍ර සාමාන්‍යයෙන් වසරක කාලයක් සඳහා නිකුත් කෙරෙන අතර, ඒ යටතේ කිහිපවරක් ඉන්දියාවට ඇතුළුවීමට ද අවසර හිමිවනවා.
ඉන්දියාවේ “Heal in India” වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම ද මෙම පියවරවල අරමුණක්.
මේ වනවිට රටවල් 172ක පුරවැසියන්ට ඉලෙක්ට්‍රොනික වීසා පහසුකම් සලසන ඉන්දියාව, නව ක්‍රමවේදයට අදාළ තාක්ෂණික යාවත්කාලීන කිරීම් ද සිදුකරමින් සිටී. මෙම වෙනස්කම් 2026 වසර අවසන් වනවිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙනවා.
