ලෝකයේ බලවත්ම තනතුර නැවත වරක් අප්‍රිකානු මහාද්වීපයේ පුද්ගලයෙකුට හිමිවෙන ලකුණු පහලවී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres)ගේ ධුර කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර, මීළඟ මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ මට්ටමකට පත්ව ඇති බවට වාර්තාවෙනවා.
ප්‍රබල නිෂේධ බලයන්හි (Veto powers) බලපෑම් සහ රහසිගත ඡන්ද විමසීම් මධ්‍යයේ, ඊළඟ එ.ජා.මහලේකම් තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන් අට දෙනෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSC) නිර්දේශය අපේක්ෂාවෙන් තරග වදිනවා.
මෙම තරගය සඳහා නම් කර ඇති ප්‍රධාන අපේක්ෂකයන් අතරට එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) ප්‍රධානී, කොස්ටාරිකාවේ රෙබෙකා ග්‍රින්ස්පන් (Rebeca Grynspan), ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) ආර්ජන්ටිනා ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලානා නුසෛබා (Lana Nusseibeh) ඇතුළු පිරිසක් ඇතුළත් වෙනවා. මීට අමතරව ඉක්වදෝරය, තුර්කිය, ගයානාව සහ උගන්ඩාව නියෝජනය කරමින්ද අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ඉදිරිපත්ව සිටිනවා.
මේ දක්වා පවත්වා ඇති අනාවරණ නොකළ ඡන්ද විමසීම් (Straw polls) අටකින් කිසිදු අපේක්ෂකයෙකුට විරෝධතා නොමැතිව ඒකමතික එකඟතාවකට පැමිණීමට හැකි වී නොමැති බව වාර්තාවෙනවා. කෙසේ වෙතත්, මෑතකදී පවත්වන ලද ඡන්ද විමසීමකදී රෙබෙකා ග්‍රින්ස්පන් වැඩි කැමැත්තක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
