Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශිරාන් බාසික්ගේ සුවපහසු තෙමහල් මාලිගාවක් තහනම් කරයි

රැඳවුම් භාරයේ පසුවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.

එම තුන්මහල් මාලිගාව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද බවට සැකකෙරෙන බවට පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුණා.

මෙම තෙමහල් නිවස සහ ඉඩම රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක (රු. 25,000,000) පමණ වටිනාකමකින් යුක්ත වන බවට වාර්තාවෙනවා.

එම ඉඩම සහ මාලිගාව ශිරාන් බාසික් විසින් සිය පියාගේ නමින් මිලදී ගෙන, පසුව තෑගි ඔප්පුවක් මගින් තම දියණිය වෙත පවරා දී තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අදාළ නිවස ඇතුළු ඉඩම විකිණීම, පැවරීම වළක්වාලමින් ඊයේ (13) දින සිට බලපැවැත්වෙන පරිදි දින 14ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවට පොලීසිය නිවේදනය කරනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියදී පසුගියදා මෙරටට රැගෙන එන ලද ශිරාන් බාසික්ගේ දේපොළ කිහිපයක්ම මේ වනවිට අත්හිටුවීමට පියවරගෙන තිබෙන අතර, රැඳවුම් නියෝගය මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්ණ කරනු ලබනවා.