මාතලේ සමූහ මිනී වල පිළිබඳ බහා තබන ලද නඩු විභාගය නැවත අයදුම් කරන ලෙස ඉල්ලා මාතලේ අතුරුදහන් වූවන්ගේ එකමුතුව විසින් මාතලේ මහාධිකරණය වෙත ඉල්ලුම් කරන ලද අයදුම් පත අද (11) දින මහාධිකරණයේදී යළි කැදවීම් කළා.
මාතලේ දිස්ත්රික් රෝහල් භූමියෙන් හමු වූ සමූහ මිනී වලෙහි සිදු කරන ලද කැණීම් තුළින් මිනිස් සිරුරු 155 ක අස්ථි කොටස් හමුවූ අතර ඒ පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණයෙන් අනතුරුව ඒ පිළිබඳ නඩු විභාගය මාතලේ මහේස්ත්රාත් අධිකරණයේදී පැවැත්වුණා.
නමුත් එම අස්ථි කොටස් ඇමෙරිකාවේ පරීක්ෂණාගාරයක් වෙත ඉදිරිපත් කර එම වාර්තාව අනුව නඩු විභාගය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ප්රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් අධිකරණය විසින් එම නඩුව බහා තැබීමට නියෝග කර තිබුණා.
88/89 වකවානුවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් පිරිසක් විසින් එම නඩු විභාගය නැවත කැඳවන ලෙස ඉල්ලා මාතලේ මහාධිකරණය වෙත ආයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී 88/89 වකවානුවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් සුදු ඇඳුමෙන් සැරසී එම අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඡායාරූප රැගෙන එම පුද්ගලයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මහාධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වුණා.










