හෙට දිනයේ පළාත් කිහිපයකට මහ වැසි

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හෙට (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට හෙට (12) ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ නැගෙනහිර දෙසින් වර්ධනය වීමට නියමිත අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙමින් ඉදිරියේ දී නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි.