වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත් වීමේ නොහැකියාව, බඩු මිල වැඩිවීම, රට සංවර්ධන වෙනවා වෙනුවට සංවර්ධන වැඩ අඩාලවීම සේම ප්රජාතන්ත්රවාදී අයිතිය රජය උල්ලංඝනය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීම හා රාජ්‍යට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීම යනුවෙන් මර්දනකාරී පනත් ගෙනවිත් ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් රජය උල්ලංඝනය කරන බවත්, ඊට අමතරව ගරුතර මහා සංඝරත්නයට පහත් ආකාරයෙන් සලකන බවත් විනයක් නැතිව නිර්ලජ්ජීත ආකාරයට ආරක්ෂක අංශ මහා සංඝරත්නයට සහ සිවුරට අගෞරව කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (11) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අවසානයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් දුප්පත්කම තුරන් කිරීම, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සේම ගොවියා ධීවරයා කම්කරුවා ආදී ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්න පෙනී සිටින බවත් අද වන විට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ආදී වෘත්තීයවේදීන් රට අතහැර යන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් පාසල් දරුවාගේ සිට නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්රතිලාභ ලබන සමස්ත ලක්ෂ 220 ජනතාව අනාරක්ෂිත වී ඇති නිසා විකල්ප ආණ්ඩුව ලෙස සමගි ජන බලවේගය මේ ගැන අවධානය යොමු කර ජනතාව ජන දුකින් මුදවා ගන්න අවශ්‍ය උපරිම දේ කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
අයවැයෙන් සහන දෙනවාද නැද්ද යන්න ජනාධිපතිවරයාගේ තීරණයක් බවත් භාණ්ඩාගාරය පිරී ඉතිරි ඇති අවස්ථාවේ ජනතාවට සහන දෙන්න අයවැයක් එන්නම ඕනිද කියා ප්‍රශ්න කළ යුතු බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වීමෙන් ජීවන බර වැඩි වී උද්ධමනය වැඩි වී ජන ජීවිත කඩා වැටී ඇති බවත් එක් පුද්ගලයකුට රු.17000-18000ක් මාසයක් ජීවත් වෙන්න ඇති බව පවසන්නේ විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක් තුළින් නොවන බවත් රජයට ජනතාව ගැන හැගීමක් නැති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම කම්කරු ජනතාව වෙනුවෙන් හඩ නැගු ජවිපේ අය අද ජනතාවගෙන් සන්තෝසම් ගන්න තැනට පත්ව ඇති බවත් මෙහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
එදා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරන අණපනත හදුන්වා දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමට වුවත් අද ත්රස්තවාදියා කවුද කියා නිර්වචනය කිරීමේ අයිතිය විධායකයට බාර දෙනවා නම්, එය අහිතකර බව ජාත්‍යන්තර ආයතන සංවිධාන පවා පෙන්වා දී ඇති බවත් මෙය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා යාමක් බවත් අද රටේ දරුවන් පවා රජයේ වැඩ ගැන දන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.










