අද ඉඳන් පෝලන්තයේ සිට දින 10කට වරක් මගී ගුවන් යානයක් මෙරටට

යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමඟම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන  ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්‍රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ (Enter Air) ගුවන් යානා 03ක්, සිය මංගල ගුවන් ගමන් (Inogaral Flight) ආරම්භ කරමින්, එරට සංචාරයකයන් 550 දෙනෙකු රැගෙන අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඒ අනුව, එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා,අද (06) දින උදෑසන 06.51ට පෝලන්තයේ කැතොවිස් (Katowice ) නුවර සිට ඊ.එන්.ටී.- 7607 දරන ගුවන් යානයත්, උදෑසන 07.40 ට පොස්නන් ( Poznaan ) නුවර සිට ඊ.එන්.ටී.- 1913 දරන ගුවන් යානයත් සහ උදෑසන 09.40 ට වෝර්සෝ ( Worsaw )  නුවර සිට ඊ.එන්.ටී.- 1561 දරන ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මේ සඳහා, එන්ටර් එයාර් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සතු බෝයිං – 737 වර්ගයේ ගුවන් යානා 03 ක් යොදවා තිබෙනවා.

අද දිනයේ සිට සෑම දින 10කට වරක් එළඹෙන 2027 වසරේ අප්‍රේල් 02 වැනිදා දක්වා, එම නගරවල සිට මෙම ගුවන් යානා 42 මගින් මෙරටට සංචාරයකයන් රැගෙන ඒමට නියමිතයි.

 පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර මෙම ශීත ඍතු ගුවන් ගමන් සේවා වසර 15ක සිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.