මානව හිමිකම් තත්ත්වය පිරිහීම හේතුවෙන් යුරෝපා සංගමයෙන් පාකිස්තානයට හිමි GSP+ වෙළෙඳ සහනය අහිමිවීමේ අවදානමක් පවතින බව එරට ජාතික සභාවේ මූල්‍ය කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපති සයිඩ් නවීඩ් කමාර් පවසනවා.
කෙසේ වෙතත්, පාකිස්තාන රජය සහතික වන්නේ එවැනි තර්ජනයක් නොමැති බවටයි.
GSP+ සහනය සම්බන්ධයෙන් මානව හිමිකම් ගැටලු හේතුවෙන් අහිතකර සංඥා ලැබෙමින් පවතින බවයි කාරක සභා සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.
යුරෝපා සංගමයේ අවසන් නිරීක්ෂණ වාර්තාවෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීම, මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අධිකරණ පද්ධතිය දුර්වල වීම පිළිබඳ කරුණු රැසක් පෙන්වා දී තිබෙනවා.
එම වාර්තාවට අනුව, 2023 සිට 2025 දක්වා කාලය තුළ GSP+ බැඳීම් ඉටු කිරීමේදී පාකිස්තානය ගැටලු රැසකට මුහුණ දී ඇති අතර, ක්ෂේත්‍ර කිහිපයක පසුබෑමක්ද පෙන්නුම් කර තිබෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින අහිතකර ප්රවණතා ආපසු හැරවීමට පාකිස්තානය දැඩි පියවර ගත යුතු බවද යුරෝපා සංගමය අවධාරණය කරනවා.
එමෙන්ම, අපහාස නීති, සයිබර් අපරාධ වැළැක්වීමේ නීති, ත්‍රස්ත විරෝධී නීති සහ රාජද්‍රෝහීත්වයට අදාළ නීති සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම පිළිබඳවද යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා.
2027 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත සංශෝධිත GSP නීති යටතේ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ වගවීම, වධහිංසා වැළැක්වීම, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ මරණ දඬුවම සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතුවල ප්‍රධාන ප්‍රමුඛතායි.
දැනට ක්‍රියාත්මක GSP+ සහනය 2028 දෙසැම්බර් මාසය දක්වා බලපැවැත්වෙනවා.
2029 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන නව සහන ක්‍රමය සඳහා සුදුසුකම් ලබාගැනීමේ අයදුම්පත සකස් කිරීමට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් කටයුතු කරමින් සිටින බව මුදල් හා ආදායම් රාජ්‍ය අමාත්‍ය බිලාල් කයානි කාරක සභාවට දැනුම් දී තිබෙනවා.
යුරෝපා සංගමයේ GSP+ වෙළෙඳ සහනයේ ප්‍රධානතම ප්‍රතිලාභියා වන්නේ පාකිස්තානයයි.
2024 වසරේදී එම සහනය යටතේ පාකිස්තානය යුරෝපා සංගමයට යුරෝ බිලියන 7.5ක අපනයන සිදුකර තිබෙනවා.
