ශිරාන් බාසික්ට නිවෙසින් ආහාර ලබාගැනීම සම්බන්ධව අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයා දැනුම් දි තිබෙනවා.

දැනට අත්අඩංගුවේ පසුවන ශිරාන් බාසික් රඳවාගැනීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් අද (05) අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්කෙරුණා.

ශිරාන් බාසික් නමැත්තාට නිවසින් ආහාර ලබා ගැනීමට සහ නීතිඥවරු හමුවීමට දැනට වඩා ප්‍රවේශය ලබාදීමට තිබෙන හැකියාව සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ.

ශිරාන් බාසික් මේ වනවිට රැදවුම් නියෝග මත පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්නකිරීම සිදුකරනු ලබනවා.