දළයක් නොමැතිව මියගිය ඇතාගේ සිද්ධියට හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට

කහටගස්දිගිලිය, මීමින්නාවල, කුඹුක්වැව ප්‍රදේශයේදී දළයක් නොමැතිව මියගොස් සිටියදී සොයාගත් ඇතාගේ මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ඇතාගේ දළය කපා ඉවත් කළ බවට සැකකෙරෙන හිටපු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 34ක් වයසැති සැකකරු කහටගස්දිගිලිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුගේ නිවසේ සහ ඔහුගේ වගා පැලේ තිබී අලි වෙඩිල්ලක් හා පෙට්‍රල් වලින් සාදන ලද පුපුරණ ඇටවුමක්, බඳින තුවක්කුවක්, වෙඩි බෙහෙත් සහ ඒවාට අදාළ උපාංග ඇතුළත් මල්ලක්, වක් පිහියක්, යකඩ කපන කියතක් සහ මීමින්නාවල ප්‍රදේශයේදී මියගිය ඇතා සිටි ස්ථානයෙන් කපාගත් බවට සැක කෙරෙන ලී දඬු කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් යකඩ කපන කියත ඇතාගේ දළය කපා ඉවත් කිරීමට යොදාගන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.

සැකකරු අද (05) කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.