මීගමු බන්ධනාගාර ගැටුමට තවත් 17 දෙනෙක් සැකකරුවන් කෙරේ

මීගමුව බන්ධනාගාරය තුල පොලිස් හදිසි උපක්‍රමික බලකායේ නිලධාරින් 10ක් සහ රැඳවියන් 21ක් ඇතුළු 32 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතින් සැකකරුවන් 17 දෙනෙකු නම් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වූවා.

නඩුව අද ( 05 ) වැනිදා මීගමුවට ප්‍රධානමහේස්ත්‍රාත් ශීලනී පෙරේරා හමුවේ පැවැත්වුණා.

මෙහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට කරුණු දක්වමින් මෙලෙස පැවසුවා,

”ස්වාමීනි.. මෙම නඩුවට අදාළ 106 යේ සිට 123 දක්වා සැකකරුවන් නම් කරලා තියෙනව. මනුෂ්‍ය ඝාතන, පොදු දේපල වලට අනර්ථයක් සිදුකිරීම ,හා තුවක්කු ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරනවා. එසේම මෙම නඩුවට අදාළව හඳුනා ගැනීමේ පෙරටු සඳහා සාක්ෂිකරුවන් ලෙස නොපැමිණි අට දෙනෙකුට එරෙහිව වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ඉල්ලා සිටිනවා.

ඒ අනුව අධිකරණය එම නියෝගය නිකුත් කළා.

මෙම නඩුවට අදාළව නම් කර ඇති 53 සිට 67 දක්වා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම් සඳහා අද දින ආවරණය කර මීගමුව බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණය වෙත රැගෙන පැමිණි බවත් ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීම සඳහා වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නම් කළා.

එසේම මෙම නඩුවට අදාළ ව අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි 87 වන සැකකාරියය වන පූජා නමැත්තිය සිය අනියම් සැමියා සමග කටාන ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන් කර සිටියා.

එම සැකකාරිය මෙදින අධිකරණයට ඉදිරිපත් කළ බවද ඇයව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් ඉල්ලා සිටියේය. වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා ඉදිරියේදී මෙදින හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පවත්වනු ලැබුවා.

තවදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් දුලංග බණ්ඩාර නිලධාරියා පැවසුවේ රස පරීක්ෂක වාර්තා නොලැබීම නිසා ඒ පිළිබඳව සිහිකඳවීමක්ද නැවතත් යවන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින සැකකරුවන් 123 දෙනා නොවැම්බර් 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

නොවැම්බර් 12 වැනි දින නඩුව යළි කැඳවීමට නියමිතයි.