කඩවත වෙඩිවැදුණු දරුවාට සාධාරණයක් ඉල්ලා මව මානව හිමිකම් යයි

කඩවත ප‍්‍රදේශයේදී ඉකුත්දා වෙඩිවැදුණු බාලවයස්කාර දරුවාගේ මව, අද දින මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 31 වැනි දා කඩවත, ගෝනහේන හන්දිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් බාලවයස්කාර දරුවෙක් තුවාල ලබා තිබෙනවා.

කඩවත ගෝනහේන හන්දිය ප්‍රදේශයේ එදින (31) පස්වරුවේ රථ වාහන රාජකාරිවල නිරතව සිිටී පොලිස් නිලධාරින් පිරිසක් , එම ස්ථානයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයකට නවත්වන ලෙස අණ කර ඇති බවයි වාර්තා වුනා.

එහිදී පොලිස් අණ නොතකා අදාළ ත්‍රීරෝද රථය ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ දී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණා.

එම වෙඩි තැබීමේ දී වයස අවුරුදු 16ක බාලවයස්කරුවෙකුට වෙඩි වැදී තුවාල ලැබු අතර, මේවන විට ඔහු රාගම රෝහල වෙත අතුළත් කර ප්‍රතිකාර ලබනවා.

ඒ අතර වෙඩි වැදුණු බාලවයස්කරුගේ මව, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණියා.

පොලීසිය විසින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් තම දරුවාට වෙඩි තබා ඇති බව චෝදනා කළ ඇය, තම දරුවාගේ ශරීරය තුළ තවමත් මූනිස්සම් කෑලි තිබෙන නිසා, ක‍්‍රීඩා කටයුතු මෙන්ම එදිනෙදා සාමාන්‍ය කටයුතු පෙර පරිදි සිදුකිරීම අපහසුවිය හැකි බවට පෙන්වා දෙනවා.

සිද්ධියට අදාල කඩවත පොලිසියේ නිලධාරීන් තවමත් සිද්ධිය සම්බන්ධයෙන් වගකීම් විරහිත අයුරින් හැසිරෙන බවටත්, අද දින නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමෙන් අනතුරුව කඩවත පොලීසිය විසින් තමන්ගේ කටඋත්තරයක් ලියාගත් බවටත් ඇය කියා සිටිනවා.

එමෙන්ම නිවැරදිව තුවක්කු භාවිතා කිරීමට දන්නා අයට පමණක් මින් ඉදිරියට තුවක්කු ලබාදීමට පොලීසිය කටයුතු කළ යුතු බවටත් ඇය අවධාරණය කරනවා.