බලංගොඩ කස්සප හිමිට එරෙහිව ජවිපෙන් පැමිණිල්ලක්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා, ජනතා විමුක්ති පෙරමුණ විසින් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත ඊයේ (23) දිනයේ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

විහාරමහාදේවී උද්‍යානය අසල විරෝධතාවක නිරත වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පිහි දෙකක් සමඟ අල්ලා ගත් බව කියන පුද්ගලයෙකු, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය හා සම්බන්ධ බවට එම හිමියන් විසින් සිදුකළ චෝදනාව පදනම් කරගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සැකකරු සහ පැලවත්තේ පිහිටි තම කාර්යාලය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරන්නේ.

අදාළ හිමිනම සිදුකළ එම ප්‍රකාශය අසත්‍ය බවත්, එය මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතු විය හැකි බවත් එම පක්ෂය පෙන්වා දෙනවා.