කුවේට් සිට කටුනායකට ආ ගුවන් යානය තුළ දරු ප්‍රසූතියක් – ශ්‍රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙක් බිහිකරලා

කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක් අද (19) අලුයම දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.

ඇය මීට වසර දෙකකට පමණ පෙර කුවේට් රාජ්‍යය වෙත ගෘහ සේවය සඳහා ගොස් තිබුණා.

මෙම කාන්තාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඇය අද (19) අලුයම 02.52ට කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබුණා.

දරු ප්‍රසූතිය සඳහා ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සදහා සහභාගී කර නොගන්නා අතර, ඇය සිය ගර්භණී බව ගුවන් සේවා නිලධාරීවරුන් හට සඟවා ගුවන් යානයට ගොඩවී තිබෙනවා.

එහි දී ඇය උදරයේ මහත නොපෙනන ලෙස සිරුරට තද වන ආකාරයේ “ඩෙනිම් ” වර්ගයේ කළිසමක් ඇද සිට තිබෙනවා.

මෙම දරු ප්‍රසූතිය ගුවන් සේවිකාවන්ගේ සහායෙන් කිසිදු කරදරයකින් තොරව ගුවන් යානය තුළ දී සිදු කෙරුණ අතර, ගුවන් නියමුවා විසින් ඒ බව කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

යානය ගොඩබසිනවාත් සමඟම ගිලන් රථ, වෛද්‍යවරුන් සහ හෙදියන් සූදානම් කර තැබීමට පියවර ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

එම කාන්තාව යානය තුළ දී පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබූ අතර, පසුව මව සහ දරුවා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

ඔවුන් දෙදෙනා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි තොරතුරු වාර්තා වන්නේ.