අලි ඇතුන්, සතා සිව්පාවා, ජෛව විවිධත්වය හා පරිසරය සම්බන්ධ අයිතිවාසිකම් ද මූලික අයිතිවාසිකම් විය යුතුයි – සජිත්

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ ඇති මූලික අයිතිවාසිකම් සහ 6 වැනි පරිච්ඡේදයේ ඇති රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් ඇති බවත් 3 වැනි පරිච්ඡේදයේ ඇති දේවල් පෙත්සම් තුළින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි වුවත් 6 වැනි පරිච්ඡේදයේ සඳහන් අයිතිවාසිකම් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බවට සඳහන් බවත් එම නිසා පාරිසරික අයිතිය, වන සතුන්ගේ වනජිවීන්ගේ පරිසරයේ වෘක්ෂලතාවල අයිතිය රටේ මූලික අයිතිවාසිකමක් විය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

එසේ නොවන්නේ නම් වනජීවීන්ට පරිසරයට වෘක්ෂලතාවලට සිදුවන දේවල් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් යම් හෙයකින් වනජීවීන්, වෘක්ෂලතා සහ පරිසරය සම්බන්ධ කොටස් මූලික අයිතිවාසිකමක් වන්නේ නම් ඒවාට සිදුවන අගතීන් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (18) දින විපක්ෂ නායක කාර්යාලයේ දී කාවන්තිස්ස ඇතාගේ ඝාතනය සහ මේ නිසා ඇත් පරපුරට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් රැසක් සමඟ පැවැති සාකච්ඡාවකදීයි.