කාවන්තිස්සගේ මරණයට හේතුව සොයාගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණයෙන් නියෝග

මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (17) පශු වෛද්‍ය නිලධාරීන්ට නියෝග කළා.

ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ මීගලෑව වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්. වීරකෝන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පරීක්ෂණයෙන් අනතුරුව හස්තියාගේ මළ සිරුර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙස ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

විශේෂයෙන්ම ඉදිරියේ දී සත්වයාගේ ඇත්දළ යුගළ යළි ලබාගැනීමට හැකිවන පරිදි මෙම භූමදානය සිදු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අදාළ ස්ථානයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයිය යුතු බවත් නියෝගයේ දැක් වෙනවා.

මීට අමතරව, කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ද නියෝග කර තිබෙනවා.

කාවන්තිස්ස හස්තියාගේ මරණයට අදාළ මෙම නඩු කටයුත්ත ඉදිරියේදී ගල්ගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රංජන් බණ්ඩාර ඉදිරියේ යළි කැඳවීමට නියමිතයි.