තමන් ඇතුළු පිතිකරුවන් පරාජයේ වගකීම භාරගන්නවා – මෙන්ඩිස් පරාජයට හේතු කියයි

පිතිකරණයේ දී පැවති දුර්වලතා නිසා පාකිස්ථානය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය පරාජයට පත්වීමට සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන අවස්ථාවේ දී අදහස් දක්වමින් කුසල් මෙන්ඩිස් මේ බව සඳහන් කළා.

තමන් ඇතුළු පිතිකරුවන් පරාජයේ වගකීම භාරගත යුතු බව සඳහන් කළ මෙන්ඩිස්, මීළඟ තරගයේ දී තම කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි තමාට විශ්වාසයක් පවතින බවයි පැවසුවේ.

“මමත් ඇතුළුව පිතිකරුවන් වගකීම භාරගත යුතුයි. මෙය පිතිකරණයට හිතකර තණතීරුවක්, අප අවම වශයෙන් ලකුණු 200ක් වත් ලබාගත යුතුව තිබුණා. ‘පවර්ප්ලේ අවස්ථාවේදී වේග පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැවූවා. ඉන් පසුව අප අතින් උඩ පන්දු කිහිපයක්ම ගිලිහී ගියා. පන්දු යවන්නන්ගේ දක්ෂතා ගැන මට සතුටුයි, නමුත් මැද ඕවරවලදී අප අතින් සිදුවූ වැරදි නිවැරදි කරගත යුතුයි. මෑත තරගාවලි කිහිපයේදී පන්දු රැකීම අතින් අප හොඳ දස්කම් දැක්වූවත්, අවාසනාවකට මෙන් පසුගිය තරග දෙකේදී අපේ දස්කම් අපේක්ෂිත මට්ටමේ නොතිබීම නිසා අපට අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවුණා. කොහොම වුණත්, මගේ කණ්ඩායම කෙරෙහි මට විශ්වාසයක් තිබෙනවා.”

පාකිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී පාරාජයට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදු වුණා.

දුර්වල පන්දු රැකීම සහ දියාරු පිතිකරණය හේතුවෙන් පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 82ක අවමන් සහගත පරාජයක් හිමි වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවී ලකුණු 215ක් රැස් කළා.

අනතුරුව ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිළට නියමිත පන්දුවාර 20 තුළ රැස්කර ගත හැකි වුයේ කඩුලු 07ක් දැවී ලකුණු 133ක් පමණයි.

මේ අතර මෙම පරාජය වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජය වූ 08 වන තරගාවලිය ලෙසටයි.