මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කරමින්, රෝගී ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වසනීය ප්‍රතිකාර සේවාවක් සැපයීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා බඳවා ගත් 436 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මරදාන, ටවර් රඟහල පරිශ්‍රයේදී සිදු කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් හා කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.
සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා බඳවා ගැනීමේදී දේශපාලන මැදිහත්වීම් සිදු කිරීම පහසු වුවද, එවැනි මැදිහත්වීම්වලට කිසිදු ඉඩක් ලබා නොදී විධිමත් හා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් ඔස්සේ මෙම බඳවා ගැනීම් සිදු කළ බවයි අමාත්‍යවරයා සදහන්කර සිටියේ.
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා 1,989 දෙනෙකු බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත්, ඒ අනුව, පසුගිය ජූලි 04 වැනිදා පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුටත්, ජූලි 18 වැනිදා දෙවන කණ්ඩායම ලෙස 600 දෙනෙකුටත්, අගෝස්තු 01 වැනිදා තෙවන කණ්ඩායම ලෙස 762 දෙනෙකුටත් වශයෙන් අදියර තුනක් යටතේ පත්වීම් ලබාදීමට කටයුතු කළ බවයි ඔහු පැවසුවේ.
මෙම බඳවා ගැනීම් සඳහා 92,000කට ආසන්න අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබූ අතර, අයදුම්පත් විධිමත්ව පරීක්ෂා කර ලකුණු ලබාදීමෙන් අනතුරුව සුදුසුකම් හා කුසලතා මත අපේක්ෂකයන් තෝරා ගැනීමට පියවර ගෙන තිබූ බවත්, සුදුසුකම් සපුරාලූ අපේක්ෂකයන් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකටද යොමු කර තෝරා ගැනීම සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව පත්වීම් ලබාදීමට හැකිවීම මෙම ක්‍රියාවලියේ විධිමත්භාවය පිළිබිඹු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.
පත්වීම්ලාභීන් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, අද සිට ඔවුන් ලක්ෂ එකහමාරකට ආසන්න සාමාජිකයන්ගෙන් සමන්විත සෞඛ්‍ය සේවා පවුලේ කොටස්කරුවන් බවට පත්වන බවයි.
සෞඛ්‍ය සේවාව යනු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිට රෝහල්වල සේවය කරන සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේම දායකත්වය හා සාමූහික වගකීම මත පවත්වාගෙන යන පද්ධතියක් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි එක් අංශයක හෝ කාර්යභාරයක බිඳවැටීමක් සිදුවුවහොත් ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවාව අඛණ්ඩව සැපයීමට නොහැකි වන බවද අවධාරණය කළා.
රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගී පුරවැසියා ගෞරවයෙන් පිළිගෙන, අවශ්‍ය රැකවරණය සහ සහාය ලබාදීම සෞඛ්‍ය කාර්ය සහායකයින් ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන්ගේ වගකීමක් බවද අමාත්‍යවරයා පැවසුවා.
රෝගියාට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය තීරණය කිරීමේදී සෑම වෘත්තිකයෙකුගේම කැපවීම වැදගත් වන බැවින්, තමන් වෙත පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කිරීම තුළින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.
සෞඛ්‍ය සේවාවේ පවතින මානව සම්පත් පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් විශාල කැපවීමකින් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා මේ වසර අවසන් වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින සැලකිය යුතු බඳවා ගැනීම් ප්‍රමාණයක් අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා.
රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සමාජයේ පවතින දුර්මත වෙනස් කිරීමේ වගකීම නවක පත්වීම්ලාභීන්ට ද පැවරෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා, එම වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට හෝ අනෙකුත් නිලධාරීන්ට පමණක් කළ නොහැකි බව පැවසුවා.
රෝහල් පද්ධතිය තුළ තම රාජකාරි ඉටු කරන ආකාරය, ජනතාව සමඟ කටයුතු කරන ආකාරය සහ සේවය කෙරෙහි දක්වන කැපවීම තුළින් රාජ්‍ය සේවය පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැංවීමට සෑම පත්වීම්ලාභියෙකුම දායක විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.










