වයස අවුරුදු 14ක සිසුවෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධ චෝදනා තුනක් යටතේ වරදකරු වූ පාසල් ගුරුවරියකට වසර අටක සිර දඬුවමක් මොණරාගල මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ 49 හැවිරිදි වියේ පසු වූ පාසල් ගුරුවරියකටයි.
පසුගිය 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනක අදාළ ගුරුවරිය මෙම සිසුවා නිවසට ගෙන්වාගෙන ඔහුට අතවර කර අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.
මොණරාගල, හින්දිකිවුල ප්‍රදේශයේ පදිංචි, දරුවන් දෙදෙනෙකුගේ මවක් වන මෙම විත්තිකාරියට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබුණා.
ඒ, අනුව ගුරුවරියට එල්ල වූ චෝදන තුනකට ඇය වරදකාරිය බවට මොණරාගල මහාධිකරණය තීන්දු කළ අතර, එහිදි එක් චෝදනාවකට වසර අට බැගින් චෝදනා තුනට වසර 24ක සිරදඩුවම් නියම කර, එම සිර දඬුවම වසර අටකින් ගෙවී යන ලෙසට නියම කළා.
ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ හත හමාරක වන්දිනයක් සිසුවා හට ගෙවන ලෙසටද අධිකරණය ගුරුවරියට නියෝග කරනු ලැබුවා.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.
ඊට අමතරව විත්තිකාරියට රුපියල් පනස් දහසක දඩයක් ද නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කරනු ලැබුවා.
