අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම ලිහිල් කිරීමට ඉල්ලා අභියාචනයක් අද (10) දිනයේ සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිත බව වාර්තා වනවා.
අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාද් නවාවි, ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාපා යන අයගෙන් සමන්විත නිල නියෝජිත පිරිසක්, සෞදි නීති සමාගම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් 06 වන දින සෞදි අරාබිය බලා පිටත්ව ගියා.
අභියාචනය ගොනු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරුන් ඊයේ දිනයේදී ද සෞදි නීති සමාගම් සමඟ වැඩිදුර සාකච්ඡා පවත්වා තිබෙනවා.
අභියාචනයෙන් සාර්ථක ප්‍රතිඵලයක් නොලැබුණහොත්, සෞදි අරාබියේ රජු වෙත ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරනවා.
මේ අතර සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ මේ වනවිට රඳවා සිටින අනෝජන් සිවරාසා හමුවී ඔහුගේ සුවදුක් විමසා බැලීමට සෞදියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් පියවර ගෙන තිබෙනවා.
බන්ධනාගාරය වෙත පසුගිය 08 වනදා ගිය තානාපතිවරයා, අනෝජන් සිවරාසා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් සෞදි අරාබියේ අල්-අහ්සා අපරාධ අධිකරණය විසින් අනෝජන්ට මුලින් වසර පහක සිර දඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩ මුදලක් නියම කර තිබුණා.
කෙසේ වෙතත්, අනෝජන්ගේ නීති කණ්ඩායම එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු, සෞදි නීති බලධාරීන් අධිකරණය වෙත ප්‍රති-ඉල්ලීමක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් පසුව ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.
කල්මුණේ, නට්පිඩ්ඩිමුනයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෝජන් සිවරාසා රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් තිබුණේ මීට මාස නවයකට පෙරයි.
