රුසියානු ඉන්ධන ආනයනයට ජනාධිපති ට්‍රම්ප් අවසර දෙයි

ඉන්ධන මිල අඩු කිරීමේ දැඩි පීඩනයකට මුහුණ දී සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ඩීසල් එක්සත් ජනපදය වෙත ආනයනය කිරීමේ ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇමරිකානු සහ ගෝලීය වෙළඳපොළ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ටොන් 300,000ක් ද, ඉන්පසු නොවැම්බර් මාසයේදී ටොන් 500,000ක් ද, ඊට පසුව තවත් ටොන් මිලියනයක් ද නිකුත් කිරීමට පුටින් ජනාධිපතිවරයා එකඟ වූ බව ට්‍රම්ප් පවසනවා.

මෙම ගිවිසුමේ කොටසක් ලෙස එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් රුසියානු ඩීසල් අපනයන මත පනවා ඇති සම්බාධක අප්‍රේල් 7 වනදා දක්වා අත්හිටුවීමට නියමිත බව වාර්තා වන නමුත්, ඇමරිකානු බැංකු තුළ ඇති වත්කම් වැනි වෙනත් වත්කම් තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

මේ අතර යුක්‍රේනයේ ප්‍රහාරවලට ලක්ව ඇති රුසියානු පිරිපහදු මධ්‍යස්ථානවල තත්ත්වය මත පදනම්ව, “කෙටි කාලයක් තුළ” තවත් රුසියානු ඩීසල් ටොන් මිලියන තුනක් ලබා දෙනු ඇති බව ට්‍රම්ප් සිය ‘Truth Social’ හි තැබූ සටහනේ දැක්වෙනවා.

මෙම වසර මුලදී ඩීසල් අපනයනය තහනම් කළ රුසියාව, එක්සත් ජනපද සහ ගෝලීය වෙළඳපොළ වෙත තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සැපයීමට කැමැත්තෙන් පසුවන බව පුටින් පසුව ප්‍රකාශ කළද, එම ප්‍රකාශයේ නිශ්චිත ප්‍රමාණයන් සඳහන් කර තිබුනේ නැහැ.

කෙසේ වෙතත්, එම ප්‍රමාණයේ ඩීසල් සැපයීමට රුසියාවට හැකියාව තිබේද යන්න සහ එසේ කිරීමෙන් ඇමරිකානු පාරිභෝගිකයින්ට ඉන්ධන මිල අඩු වීමේ වාසියක් ලැබේද යන්න පිළිබඳව විශ්ලේෂකයින් ප්‍රශ්න මතු කර තිබෙනවා.

මේ අතර එළඹෙන මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ඇතැමුන්ගේ අදහස් වී තිබෙනවා.

.