අන්තර්ජාලයේ දැන්වීම් නැරඹීමට රුපියල් 7,800ක මුදලක් ආයෝජනය කර වසරකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් පනස් අටකෝටි අනූඅට ලක්ෂ හතළිස් දහසක් දක්වා ආදායම් ලැබිය හැකි බවට ප්‍රචාරය කරමින් ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන “ටී.එම් ඇප්” නීති විරෝධී පිරිමීඩ සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නිකුත් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන පානදුරේ පදිංචි කරාගොඩ ඩේවිඩ් ලලිත් සහ කල්මුණේ පදිංචි මොහොමඩ් රාෆික් මොහොමඩ් සබ්රි සැකකරුවන්ට මෙම විදෙස් ගමන් තහනම නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක් කරන ලද ටී.එම් ස්කිල් එක්ස්ජෙන්ච් හා ට්‍රම්ප් මීඩියා හවුස් නමින් පිහිටවූ නීති විරෝධී පිරමීඩ සමාගම් දෙකක් මගින් මෙම ජාවාරම කර කෝටි ගණන් ජනතා මුදල් වංචාකර ඇති බවයි.
විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ මෙලෙස පවසා සිටියා.
“ස්වාමීනි, ටී.එම් ඇප් යෙදුම හරහා පළ කරන දැන්වීම් නැරඹීමට සමාගම් දෙකෙහි ලියාපදිංචි වී මුදල් ආයෝජනය කරන ලෙසට ජනතාවට දැනුම් දී තිබෙනවා. සැකකරුවන් එමගින් කෝටි ගණන් මුදල් වංචා කර ඇති බවට පැමිණිල්ලි ලැබෙමින් පවතිනවා. රුපියල් 7,800 සිට රුපියල් තිස්අට ලක්ෂය දක්වා පැකේජ් නමයක ආයෝජනය කර රුපියල් ලක්ෂයේ සිට රුපියල් පනස් අට කෝටියක ආදායමක් වර්ෂයකට ලබාගත හැකි බවට ප්‍රචාරය කර තිබෙනවා.”
සැකකරුවන් විසින් 2025 ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අදාළ මුදල් එක් රැස් කර වංචා කර ඇති බවත් , මුල් අවස්ථාවේ දී ආයෝජකයින්ට ප්රතිලාභ ලබා දී ඇතිමුත් පසුව රුපියල් ලක්ෂ ගණනින් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර තිබෙනවා.
මෙම වංචාවට හසුව මුදල් අහිමි කරගත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි අනුව සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් විදේශගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බැවින් අදාළ විදෙස් ගමන් තහනම නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.










