මෙට්‍රෝ බස්වලට හානි කරන පෞද්ගලික බස් රථවලට ඉදිරියේ දී නීතිය තදවෙයි

අලුතින් ධාවනයට එක් කෙරුණු මෙට්‍රෝ බස් අනතුරට ලක්කරන ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ඇතැම් පෞද්ගලික බස් රථ මඟින් මෙලෙස මෙට්‍රෝ බස් රථ අනතුරුවලට භාජනය කරන බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස මෙට්‍රෝ බස් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් මාධ්‍යවේදීන් ඊයේ (08) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙට්‍රෝ බස් අනතුරට ලක්කරන පුද්ගලයින් සිදුකරනු ලබන්නේ පොදු දේපළවලට හානි කිරීමක් බවයි.

එලෙස කටයුතු කරන ඇතැම් පෞද්ගලික බස් රථ රියදුරුවරුන්ට සහ පෞද්ගලික බස් හිමිකරුවන්ට ඉදිරියේ දී නීතිමය කටයුතුවලට මුහුණදීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

“මේ කරන්නේ පොදු දේපළ හානි කිරීමක්. ඒවා කරන රියදුරු මහත්වරුන්ට හරි හිමිකරුවන්ට හරි මං හිතන්නේ බරපතළ නඩුවලට මුහුණ දෙන්න වෙයි. ලංකාවේ ජනතාවගේ පොදු දේපළ හානිකරලා. මෙට්‍රෝ බස් එකසිය ගානක් වැඩ කරනවා, ඒකට පෞද්ගලික බස් රථවලින් අතිවිශාල ප්‍රමාණයකින් කිසිම කරදරයක් කරලා නෑ. ඉතාම සුළු බස් කිහිපයක් තමයි. ඒ නිසා මම කියන්නම් ඒක පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ ඔය කොතනත් ඉන්නවනේ ටිකක් නේද ? මම කියන්නේ අපරාදෙ නිකන් පොදු දේපළ හානි කරලා අමාරුවේ වැටෙන්නේ නැතුව, මේක රට පිළිඅරගත්ත දෙයක්, මේකට අනුව යන්න. මේකට අනුව හැඩගැහෙන්න. මොකද අපි කොහොමත් අවුරුද්දක් ඇතුළත දී පෞද්ගලික අංශයට විවෘත කරනවා මෙට්‍රෝ සේවාව.”